නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් සනත් පිටිගල නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 35 කට අධික සේවා කාලය නිම කරමින් රියර් අද්මිරාල් සනත් පිටිගල අද (2025 මැයි 17) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ප්‍රමුඛ නාවික හමුදා කළමනාකරණ මණ්ඩලය විසින් අද දිනට සිය 55 වන උපන් දිනය යෙදී ඇති රියර් අද්මිරාල් සනත් පිටිගල වෙත නාවික හමුදා මූලස්ථානයේදී උපන් දින සුබපැතුම් පිරිනැමීමෙන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මඟින් ඔහු වෙත උත්තමාචාරය පුද ‍කිරීම සිදු කෙරිණි. අනතුරුව, සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික හමුදා රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයෙන් පිටව යන මොහොතේ ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් රියර් අද්මිරාල් සනත් පිටිගල වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සුභාශිංසන පිරිනැමීම සිදුකෙරිණි.

1990 වසරේදී, නාවික පාබල අංශයේ තුන්වන බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස නාවික හමුදා සේවයට එක්වූ රියර් අද්මිරාල් සනත් පිටිගල, සිය වසර 35 කට අධික සේවා කාලය තුළ නාවික හමුදාවේ, ආයතනයන්හී අණදෙන නිලධාරී වශයෙන් රාජකාරී සිදුකොට ඇත. තවද, ඔහු ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරී (දේශීය පුහුණු), නාවික හමුදාධිපතිගේ ප්‍රධාන ආරක්‍ෂක නිලධාරී, ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකරණ නිලධාරී නාවික සාමාජීය මෙහෙවර ව්‍යාපෘතිය, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික ගොඩබිම් මෙහෙයුම්, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික මැරීන්, අධ්‍යක්‍ෂ මැරීන්, වැඩ බලන ආඥාපති නාවික පාබල හා ආඥාපති නාවික පාබල වැනි ප්‍රමුඛ නිලතල දරා ඇති ශ්‍රී ලංකා නාවික හමුදාවේ කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.