ඇමෙරිකා එක්සත් ජනපද බලශක්ති දෙපාර්තමේන්තුව වෙතින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත න්‍යෂ්ටික හා විකිරණශීලී ද්‍රව්‍යය හඳුනා ගැනීමේ උපකරණ

ශ්‍රී ලංකා නාවික හමුදාව තුල ස්ථාපිත රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණශීලි හා න්‍යෂ්ටික උපද්‍රව සඳහා ප්‍රතිචාර දැක්වීමේ ඒකක (CBRN Units) මඟින් සිදුකෙරෙන පරීක්‍ෂා කිරීම් සඳහා අවශ්‍ය න්‍යෂ්ටික හා විකිරණශීලී ද්‍රව්‍යය හඳුනා ගැනීමේ උපකරණ තොගයක් නාවික හමුදාධිපති වෙත සංකේතාත්මකව භාරදීම, ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී ගරු ජූලි චංග් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (2025 මැයි 15) නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.

ශ්‍රී ලංකා නාවික හමුදාව, ඇමෙරිකා එක්සත් ජනපද ජාතික න්‍යෂ්ටික ආරක්‍ෂක පරිපාලන මධ්‍යස්ථානය (National Nuclear Security Administration - NNSA) සමඟ එළඹුණු අවබෝධතා ගිවිසුමට අනුව, මෙම න්‍යෂ්ටික හා විකිරණශීලී ද්‍රව්‍යය හඳුනා ගැනීමේ උපකරණ ලබාදීම සිදු කෙරුණු අතර, එමඟින් ශ්‍රී ලංකා නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණශීලි හා න්‍යෂ්ටික උපද්‍රව සඳහා ප්‍රතිචාර දැක්වීමේ ඒකක මඟින් ප්‍රධාන වරායන් තුල සහ සමුද්‍රීය දේශසීමා ආශ්‍රිතව සිදුකෙරෙන පරීක්‍ෂා කිරීම් වඩාත් කාර්යක්‍ෂමව හා පලදායි ලෙස සිදුකිරීම අපේක්‍ෂා කෙරේ.

ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර පවත්නා ද්විපාර්ශ්වික ආරක්‍ෂක සහයෝගීතාවය සහ සමුද්‍රීය වසම් පිලිබඳ දැනුවත්වීම සඳහා සහයෝගී ප්‍රවේශයකින් කටයුතු කිරීම තවදුරටත් ශක්තිමත් කිරීම සනිටුහන් කරමින් සිදුකෙරුණු මෙම උපකරණ ලබාදීමේ අවස්ථාව සඳහා, ඇමෙරිකා එක්සත් ජනපද බලශක්ති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ උපදේශක මයිකල් කොනර් මහතා (Mr. Michael Connor, Senior Advisor at the NNSA) ඇතුළු ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු රියර් අද්මිරාල් හසන්ත දසනායක ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.