‘IMDEX Asia – 2025’ සඳහා සහභාගී වූ සමුදුර නෞකාව දිවයිනට පැමිණෙයි

සිංගප්පූරුවේ චැංගි ප්‍රදර්ශණ මධ්‍යස්ථානයේදී 2025 මැයි මස 06 වැනි දින සිට 08 වැනි දින දක්වා සාර්ථකව පැවැත්වූණු ‘IMDEX Asia – 2025’ අන්තර් ජාතික සමුද්‍රීය ආරක්‍ෂණ ප්‍රදර්ශනය සහ 09 වැනි අන්තර්ජාතික සමුද්‍රීය ආරක්‍ෂාව පිළිබඳ සමුළුව සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව, අද (2025 මැයි 15) දිවයිනට පැමිණි අතර, සමුදුර නෞකාව නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

‘IMDEX Asia – 2025’ අන්තර් ජාතික සමුද්‍රීය ආරක්‍ෂණ ප්‍රදර්ශනය හා සමුළුව සඳහා රාජ්‍යන් 70ක් නියෝජනය කරමින් නියෝජිතයින් සහභාගීව සිටි අතර, නාවික හමුදා ප්‍රධානීන්, වෙරළාරක්‍ෂක බලකා සහ සමුද්‍රීය නිතිය බලාත්මක කිරීමේ නියෝජිතායතනයන්ගේ ප්‍රධානීන් විසි දෙදෙනෙකු (22)ද ඒ සඳහා සහභාගී වී සිටියහ. මෙම සමුළුවට සමඟාමීව 2025 මැයි මස 07 වැනි දින පැවති විද්වත් කතිකාවත සඳහා සහභාගී වෙමින් අදහස් දැක්වු ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, තීරණාත්මක කාලවකවානුවන්හිදී අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගී සහ සාමූහික ප්‍රවේශයකින් කටයුතු කිරීමේ වැදගත්කම ඒ සඳහා සහභාගී වූ පාර්ශ්වයන් වෙත අවධාරණය කෙරිණි.

එමෙන්ම, ‘IMDEX Asia – 2025’ අන්තර් ජාතික සමුද්‍රීය ආරක්‍ෂණ ප්‍රදර්ශනය හා සමුළුව සඳහා රාජ්‍යන් 13ක් නියෝජනය කරමින් යුද නෞකා 22ක් සහභාගී වූ අතර, සමුද්‍රීය හා ගුවන් ආරක්‍ෂාව වෙනුවෙන් භාවිතා කරනු ලබන නවීන අධි තාක්ෂණික අවි පද්ධති, උපාංග සහ මෙහෙයුම් පද්ධති මෙන්ම, සමුද්‍රීය හා ගුවන් ආරක්‍ෂක ක්ෂේත්‍රයේ නවීන තාක්‍ෂණික දියුණුව සහ යුද නෞකාවන්ගේ හැකියාවන් හා තාක්‍ෂණය පිළිබඳව නිරීක්‍ෂණය කිරීමට එහිදී සමුදුර නෞකාවේ කාර්ය මණ්ඩලය ඇතුළු අනෙකුත් පාර්ශ්වයන් වෙත අවස්ථාව උදා විය.

තවද, කළාපීය හා කළාපීය නොවන නාවික හමුදා හා වෙරළාරක්‍ෂක බලකා ඇතුළු සමුද්‍රීය පාර්ශ්වයන් රැසක් සහභාගී වූ මෙම ‘IMDEX Asia – 2025’ අන්තර් ජාතික සමුද්‍රීය ආරක්‍ෂණ ප්‍රදර්ශනය හා සමුළුව සඳහා සහභාගී වීම මඟින්, ශ්‍රී ලංකා නාවික හමුදාවට කළාපීය නාවික හමුදා හා වෙරළාරක්‍ෂක බලකා සමඟ අන්තර් ක්‍රියාකාරීත්වය සහ අන්‍යෝන්‍ය සහයෝගීතාවය වර්ධනය කර ගැනීම, සාගරික මෙහෙයුම් සඳහා භාවිතා කරනු ලබන නවීණ තාක්‍ෂණික උපාංග හා පද්ධති පිළිබඳ නව දැනුම, ක්‍රමෝපායයන් හා අත්දැකීම් හුවමාරු කර ගැනීමට හැකිවීම වැනි ප්‍රතිලාභ රැසක් හිමි විය.