‘IMDEX Asia – 2025’ අන්තර් ජාතික සමුද්‍රීය ආරක්‍ෂණ ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහභාගී වෙයි

‘IMDEX Asia – 2025’ අන්තර් ජාතික සමුද්‍රීය ආරක්‍ෂණ ප්‍රදර්ශනය 2025 මැයි මස 06 දින සිංගප්පූරුවේ චැංගි ප්‍රදර්ශණ මධ්‍යස්ථානයේදී ආරම්භ වූ අතර, තෙදිනක් පුරා පැවැත්වෙන මෙම ප්‍රදර්ශණයේ සමාරම්භක අවස්ථාව සඳහා සහ ඊ‍ට සමගාමීව පැවැත්වෙන ජාත්‍යන්තර සමුද්‍රීය ආරක්‍ෂක සමුළුව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති සහ ‍ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාවේ කාර්යය මණ්ඩලය සහභාගී වූහ.

‘IMDEX Asia – 2025’ අන්තර් ජාතික සමුද්‍රීය ආරක්‍ෂණ ප්‍රදර්ශනය තුලදී, සමුද්‍රීය හා ගුවන් ආරක්‍ෂාව වෙනුවෙන් භාවිතා කරනු ලබන නවීන අධි තාක්ෂණික අවි පද්ධති, අධි තාක්ෂණික උපකරණ සහ ක්‍රමවේද පිලිබඳව මෙන්ම, සමුද්‍රීය හා ගුවන් ආරක්‍ෂක ක්ෂේත්‍රයේ අත්පත්කරගෙන ඇති නවීන තාක්‍ෂණික දියුණුව එම අවස්ථාව සඳහා සහභාගිවන පාර්ශවයන් වෙත දැකගැනීමට මහඟු අවස්ථාවක් උදා කර දී ඇත.

‘IMDEX Asia – 2025’ අන්තර් ජාතික සමුද්‍රීය ආරක්‍ෂණ ප්‍රදර්ශනය හා සමුළුව සඳහා රාජ්‍යන් 70ක් නියෝජනය කරමින් නියෝජිතයින් සහභාගීව සිටි අතර, නාවික හමුදා ප්‍රධානීන්, වෙරළාරක්‍ෂක බලකා සහ සමුද්‍රීය නිතිය බලාත්මක කිරීමේ නියෝජිතායතනයන්ගේ ප්‍රධානීන් විසි දෙදෙනෙකු (22) සහභාගී වී සිටියහ. මෙම සමුළුවට සමඟාමීව 2025 මැයි මස 07 වැනි දින පැවති විද්වත් කතිකාවත සඳහා සහභාගී වෙමින් අදහස් දැක්වු ශ්‍රී ලංකා නාවික හමුදාධිපති විසින් ඒ සඳහා සහභාගීවූ පාර්ශවයන් අමතමින්, තීරණාත්මක කාලවකවානුවන්හිදී අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගී සහ සාමුහික ප්‍රවේශයකින් කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කෙරිණි. එහිදී සමුළුව අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, පැහැදිලි අරමුණකින්, පුළුල් අවබෝධයකින් සහ ශක්තිමත් කැපවීමකින් කටයුතු කිරිමෙන් ආරක්‍ෂිත සහ සුරක්‍ෂිත සාගර කලාපයක් පෝෂණය කිරීමට නාවික හමුදාවන්ට දායක වියහැකි බවටද අවධාරණය කෙරිණි. එමෙන්ම, මෙම සමුළුවට සමඟාමීව නාවික හමුදාධිපති විසින් විදේශීය නාවික හමුදා ප්‍රධානීන් සමඟ නිල හමුවීම් සිදුකර, ද්වීපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමද සිදුකෙරිණි.

තවද, ‘IMDEX Asia – 2025’ අන්තර් ජාතික සමුද්‍රීය ආරක්‍ෂණ ප්‍රදර්ශනය හා සමුළුව සඳහා රාජ්‍යන් 13ක් නියෝජනය කරමින් යුද නෞකා 22ක් එක්ව ඇති අතර, එම නෞකාවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන බහුපාර්ශ්වික සමුද්‍රීය අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව සහභාගී වීමට නියමිතව ඇත.