EOD & CBRNE පුහුණු පාඨමාලාව ත්‍රිකුණාමලයේදී සාර්ථකව නිමාවට පත්වෙයි

පුපුරණ ද්‍රව්‍ය බැහැර කිරීම සහ රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ විද්‍යාත්මක, න්‍යෂ්ටික හා පුපුරණ ද්‍රව්‍ය (Explosive Ordnance Disposal and Chemical, Biological, Radiological, Nuclear and Explosive - EOD & CBRNE) පිළිබඳ 01/2025 පාඨමාලාව 2025 අප්‍රේල් මස 21 වැනි දින සිට මැයි මස 01 වැනි දින දක්වා, ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණයේ නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී සාර්ථකව පැවැත්වුණු අතර, එහි සහතික ප්‍රදානය නැගෙනහිර නාවික විධානයේ නි‍යෝජ්‍ය ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

තවද, පුපුරණ ද්‍රව්‍ය බැහැර කිරීම සහ රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ විද්‍යාත්මක, න්‍යෂ්ටික හා පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ දැනුම හා මෙහෙයුම් විශේෂඥතාවය හුවමාරු කර ගැනීමේ අරමුණෙන් සංවිධානය කෙරුණු මෙම පාඨමාලාව සඳහා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණ නිලධාරීන් විසිහතර දෙනෙකු (24) සහ ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ඉන්දු-පැසිෆික් විධානය නියෝජනය කරමින් සාමාජිකයින් තිදෙනෙකු (03) සහභාගී වූහ.