ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 257 වැනි බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 419ක් විසිර යයි

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 257 වැනි බඳවා ගැනීමට අයත් නිත්‍ය ආධුනික නාවිකයින් දෙසිය හැට හය දෙනෙකු (266) සහ ස්වේච්ඡා ආධුනික නාවිකයන් එකසිය පනස් තුන් දෙනෙකු (153) ඇතුළුව, ආධුනික නාවිකයින් හාරසිය දහනම දෙනෙකු (419) සිය මුලික පුහුණුව සාර්ථකව අවසන් කර, 2025 අප්‍රේල් මස 29 වැනි දින පූනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යාම සිදු කෙරිණි. ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ආඥාපති හා අණදෙන නිලධාරී, කපිතාන් ලක්‍ෂ්මන් අමරසිංහ ගේ ආරාධනයෙන්, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

අභියෝගාත්මක වෘත්තියක් සොයන දැයේ ජවසම්පන්න දූ පුතුනට, ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත බැඳී, විවිධ වෘත්තීය ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ මව් බිම වෙනුවෙන් සේවය කිරීම සඳහා නාවික හමුදාව අවස්ථාව උදා කර දී ඇත. එහි උපරිම පල නෙලාගත් දූ පුතුන් 419 දෙනෙකු, නිත්‍ය අංශය වෙත ආධුනික නාවිකයන් ලෙස 224 දෙනෙකු හා ආධුනික කාන්තා නාවිකයන් ලෙස 42 දෙනෙකු ද, ස්වේච්ඡා අංශය වෙත ආධුනික නාවිකයන් ලෙස 13 දෙනෙකු හා ආධුනික කාන්තා නාවිකයන් ලෙස 138 දෙනෙකු ද වශයෙන් ආධුනික නාවිකයන් 419 දෙනෙකු 257 වැනි ආධුනික බඳවා ගැනීම යටතේ මූලික පුහුණුව සඳහා, නාවික හමුදාවේ ආධුනික නාවිකයන් පුහුණු කිරීමේ ප්‍රමුඛ පුහුණු ආයතනයක් වන, පූනෑව ශ්‍රී ලංකා නාව්ක නෞකා ශික්ෂා ආයතනය වෙත අනුයුක්ත විය.

මූලික පුහුණුව තුළ විශේෂ කුසලතා දැක්වූ ආධුනික නාවිකයින් වෙත කුසලාන ප්‍රදානය කිරීම එහිදී ප්‍රධාන ආරාධිතයා විසින් සිදු කෙරිණි. ඒ අනුව, 257 වැනි බඳවා ගැනීමේ විශිෂ්ඨතම ආධුනික නාවිකයාට හිමි කුසලානය ආධුනික කාන්තා නැවි ඩබ්ඒඩීඑම් සිල්වා විසින්ද, සියලුම විෂයන් සඳහා වැඩිම ලකුණු ලබාගත් ආධුනික නාවිකයාට හිමි කුසලානය ආධුනික නැවි එස්එම්ආර්කේ ජයලත් විසින්ද, දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය ආධුනික නැවි එස්පී උමයංග විසින් ද, දක්ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය ආධුනික කාන්තා නැවි එච්කේයූ මේඛලා විසින් සහ දක්‍ෂතම ඉලක්කකරුට හිමි කුසලානය ආධුනික නැවි බීඑම්එල් ආකාශ් විසින් හිමි කර ගන්නා ලදී. එමෙන්ම, 257 වැනි ආධුනික බඳවා ගැනීමට අයත් දක්‍ෂතම අංශයට හිමි කුසලානය ‘සයුර’ අංශය විසින් හිමි කර ගැනීමට සමත් විය.

මෙහිදී විසිර යන ආධුනික නාවිකයන් ඇමතූ නාවික හමුදා නියෝජ්‍ය ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ, විසිර යන ආධුනික නාවිකයන් වෙත ප්‍රථමයෙන් සිය සුභාශිංෂණ පිරිනැමීම සිදුකෙරිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු, කාලානූරූපිව වෙනස් වු වෘත්තීමය නාවික හමුදාවක සුවිශේෂී කාර්යභාරයක් මාතෘ භූමිය වෙනුවෙන් ඉටු කිරීම සඳහා විසිර යන ආධුනික නාවිකයන් වෙත ඉදිරියට රාජකාරීන් හා වගකීම් පැවරෙනු ඇති බවත්, රටේ සංවර්ධන ක්‍රියාවලියේ කොටස් කරුවන් වීමේ මහා කර්තව්‍ය සඳහා ඍජුවම දායක වෙමින්, ජාතික ආර්ථිකයට දායකත්වය ලබා දීමෙන් තම වගකීම් මනාව වටහා ගත් කාර්යශූර්ය විනය ගරුක නාවිකයෙකු ලෙස මවුබිමට විශිෂ්ඨ සේවයක් ලබා දීමට අධිෂ්ඨාන කරගත යුතු බවත් පවසන ලදී.

අතීත රණවිරුවන් විසින් ජීවිත පරිත්‍යාගයෙන් උදාකර දුන් සාමය ආරක්‍ෂා කිරීමටත්, රටේ සීඝ්‍ර සංවර්ධනයේ යුග මෙහෙවරට උර දීම සඳහාත් තම ආදරණීය දූ පුතුන් නාවික හමුදාවට බැඳීමට ගත් තිරණයට එකඟ වෙමින්, ඔවුන් ඒ සඳහා දිරි ගන්වමින් නාවික හමුදාවට දායාද කළා වූ විසිර යන ආධුනික නාවිකයන්ගේ ආදරණීය දෙමාපියන් වෙත, නාවික හමුදාධිපති වෙනුවෙන් සිය ප්‍රණාමය පුද කිරීමද එහිදී රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ විසින් සිදුකෙරිණි.

එමෙන්ම, දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේදී සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව, සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය තර්ජන ලෙස සැලකෙන මත්ද්‍රව්‍ය ජාවාරාම, අවි ජාවාරම, නීති විරෝධී ධීවර කටයුතු ඇතුළු නීති විරෝධී කටයුතු මැඩ පවත්වා, සුවිශල් සාගර කලාපයක ආරක්ෂාව තහවුරු කිරීම මෙන්ම, මත්ස්‍ය සම්පත ඇතුළු සියලු ජලජ සම්පත් ආරක්‍ෂා කිරීම, සුරක්‍ෂිත නාවික ගමනාගමනයක් තහවුරු කිරීම, ශ්‍රී ලංකාවට අයත් සෙවීම් හා මුදා ගැනීමේ කලාපය තුළ ආපදාවට පත් වන නාවික හා ධීවර ප්‍රජාව වෙත සහන සැලසීම වැනි රාජකාරීන් නාවික හමුදාව වෙත පැවරී ඇති බවත්, නාවික හමුදාවට ආධුනික නාවිකයන් ලෙස එක්වන නාවිකයන් මාතෘ භුමියේ අවශ්‍යතාවයන් ඉටු කිරීම සඳහා වන එම භාරදුර වගකීම සියතට ගත් හා එම වගකීම ඉටුකිරීමට කැප වූ අභිමානවත් ශ්‍රී ලාංකික දූ පුතුන් වශයෙන් ආඩම්බර විය යුතු බවත් පවසන ලදි. ආධුනික නාවිකයන් පුහුණු කිරීම සඳහා දායකවූ ශික්ෂා ආයතනයේ පුහුණු කාර්යය මණ්ඩලය වෙතද සිය ප්‍රණාමය පුද කිරීම, එහිදී රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ විසින් සිදුකෙරිණි.

එමෙන්ම, මෙම විසිරයෑමේ පෙළපාලිය විසිර ගිය ආධුනික නාවිකයන් සහභාගී වූ දර්ශනීය සරඹ සංදර්ශනයකින් සහ නාවික හමුදා තුර්යවාදක කණ්ඩායමේ හා සංස්කෘතික කණ්ඩායමේ විචිත්‍රවත් සංදර්ශනයකින් මෙන්ම, නාවික හමුදා අංගම් හරඹ සංචිතයේ ප්‍රදර්ශනාත්මක අන්ගයකින් ද වර්ණවත් විය.

තවද, මෙම විසිරයෑමේ පෙළපාලිය සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති හා ධජ නිලධාරී නාවික දියත් විධානය, ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන්, ධජ නිලධාරීන්, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ පුහුණු විධායක, ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ උතුරු මැද නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන්, ආරාධිතයින්, ජ්‍යේෂ්ඨ හා කනිෂ්ඨ නාවිකයින් සහ විසිර ගිය ආධුනික නාවිකයින්ගේ දෙමාපියන් පිරිසක් සහභාගී වී සිටියහ.