“සිරි දළදා වන්දනාවෙන්” අනතුරුව ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කල නුවර වැව පිරිසිදු කිරීමේ වැඩසටහන සඳහා නාවික හමුදාවේ සහය

දළදා වන්දනාවෙන් පසු වන්දනාව සඳහා පැමිණි බැතිමතුන් විසින් නුවර වැව පරිශ්‍රයට බැහැර කරන ලද ප්ලාස්ටික් ඝන අපද්‍රව්‍ය සහ කැළිකසළ ඉවත් කර දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණීය පරිසරයක් බවට පත් කිරීමේ අරමුණෙන් 2025 අප්‍රේල් මස 28 වැනි දින ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද නුවර වැව පිරිසිදු කිරීමේ වැඩසටහන සඳහා නාවික හමුදාවේ සහය ලබා දිමට කටයුතු කෙරිණි.

ඒ අනුව, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ නිලධාරීන්, වාරිමාර්ග හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මහජනතාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව නුවර වැවෙහි ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය රැඳී තිබීම හේතුවෙන් ජල මූලාශ්‍රවලට මෙන්ම ජලජ ජීවීන්ටද ඇතිවිය හැකි තර්ජනය වැලැක්වීම සඳහා මෙලෙස මෙම ප්‍රජාසත්කාරය සිදුකෙරිණි.

“පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” යන රජයේ දැක්ම යාථාර්තයක් කරගැනීම වෙනුවෙන්, ශ්‍රී ලංකාව සමාජමය, පාරිසරික සහ ආචාරධර්මීය වශයෙන් වෙනස් කිරීමේ “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතිය යතාර්ථයක් කිරීම සඳහා ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය හා අනෙකුත් පාර්ශවයන් හා එක්ව ක්‍රියාත්මක වන මෙවැනි ජාතික ව්‍යාපෘති තවදුරටත් ක්‍රියාවට නැංවීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිරන්තර දායකත්වය ලබා දීම මෙලෙස සිදුකරනු ලබයි.