‘IMDEX Asia – 2025’ අන්තර් ජාතික සමුද්‍රීය ආරක්‍ෂණ ප්‍රදර්ශනය සහ 09 වන අන්තර්ජාතික සමුද්‍රීය ආරක්‍ෂාව පිළිබඳ සමුළුව (9th IMSC) සඳහා සහභාගීවීමට සමුදුර නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

‘IMDEX Asia – 2025’ අන්තර් ජාතික සමුද්‍රීය ආරක්‍ෂණ ප්‍රදර්ශනය සහ 09 වැනි අන්තර්ජාතික සමුද්‍රීය ආරක්‍ෂාව පිළිබඳ සමුළුව සඳහා සහභාගීවීම‍ට ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින්, ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව 2025 අප්‍රේල් මස 27 වැනි දින උදෑසන සිංගප්පූරුවේ චැංගි (Changi) වරාය වෙත පිටත් විම සඳහා නාවික හමුදා සම්ප්‍රදායානුකූලව කොළඹ වරායෙන් පිටත් වීම සිදුකෙරිණි.

‘IMDEX Asia – 2025’ අන්තර් ජාතික සමුද්‍රීය ආරක්‍ෂණ ප්‍රදර්ශනය 2025 මැයි මස 05 වන දින සිට 08 වන දින දක්වා පැවැත්වෙන අතර මෙම ප්‍රදර්ශනයේදී සමුද්‍රීය ආරක්‍ෂණයේදී අත්පත්කරගෙන ඇති නවීන තාක්‍ෂණික දියුණුව ප්‍රදර්ශනය කරණ අතර ප්‍රදර්ශනය අවසානයේ යුද නෞකා ප්‍රදර්ශනයක්ද සිදුකිරීමට නියමිතව ඇත

මෙම ප්‍රදර්ශනයට සමඟාමීව 09 වැනි වරටත් පවත්වනු ලබන අන්තර්ජාතික සමුද්‍රීය ආරක්‍ෂාව පිළිබඳ සමුළුව පැවැත්විමට නියමිත අතර මෙහිදී භූදේශපාලනික අවිනිෂ්චිතතාවය යටතේ සමුද්‍රීය ආරක්‍ෂක වපසරිය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙණු ඇත. මෙම ප්‍රදර්ශනය සහ සමුළුව සඳහා විවිධ රටවල් නියෝජනය කරමින් නාවික හමුදාවන් සහ විවිධ සමුද්‍රීය පාර්ශවයන් සහභාගීවීමට නියමිත අතර ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් මේ සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර ‍නෞකාව 2025 අප්‍රේල් මස 27 වන දින මෙලෙස දිවයිනෙන් පිටත් විය.

මෙහිදී මේ සඳහා කළාපීය හා කළාපීය නොවන නාවික හමුදා සහ සමුද්‍රීය පාර්ශවයන් ගණනාවක් සහභාගී වන බැවින්, ශ්‍රී ලංකා නාවික හමුදාවට කළාපීය නාවික හමුදාවන් සමඟ අන්තර් ක්‍රියාකාරීත්වය සහ අන්‍යෝන්‍ය සහයෝගීතාවය වර්ධනය කර ගැනීම, සමුද්‍රීය මෙහෙයුම් සම්බන්ධ නව දැනුම, කුසලතා ක්‍රමෝපායයන් සහ අත්දැකීම් හුවමාරු කර ගැනීම, නව අභියෝග හඳුනාගැනීම සහ ඒ සඳහා සාමුහිකව විසදුම් සෙවීම හා ප්‍රථිචාර දැක්වීම වැනි ප්‍රතිලාභ රැසක් හිමි වනු ඇත.