“සිරි දළඳා වන්දනාව” සඳහා පැමිණෙන බැතිමතුන්ගේ ආරක්‍ෂාව හා සුභසාධනය උදෙසා නාවික හමුදාවේ සහය

‍මහනුවර “සිරි දළදා වන්දනාව”‍‍‍ සඳහා සම්බන්ධවන දහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ ආරක්‍ෂාව සහ සුභසාධන කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමේ අධීක්‍ෂණ සංචාරයක් සඳහා 2025 අප්‍රේල් මස 23 වැනි දින නාවික හමුදාධිපති සහභාගී විය.

ඒ අනුව, “සිරි දළදා වන්දනාව”‍‍‍ ආරම්භක අවස්ථාවේ සිට ඒ සඳහා පැමිණෙන බැතිමතුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් නාවික හමුදාව විශේෂ ආරක්‍ෂක හා සුභසාධන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ යටතේ, නුවර වැව පරිශ්‍රය වෙත මහජනතාවගේ හදිසි ප්‍රථිකාර අවශ්‍යතා සඳහා පහසුකම් සහිත විශේෂ වෛද්‍ය යාත්‍රාවක්, ජීවිතාරක්‍ෂක කණ්ඩායම්, කිමිදුම් කණ්ඩායම් සහ බැතිමතුන් රැඳී සිටින මාර්ග ආවරණය වන පරිදි බැති ගී කණ්ඩායම් නාවික හමුදාව විසින් අනුයුක්ත කර ඇත. එමෙන්ම, “සිරි දළදා වන්දනාව” සඳහා වැඩම කරනු ලබන ගරුතර මහා සංඝරත්නය වෙනුවෙන් දානය පිළියෙල කිරීම සඳහා මෙන්ම, බැතිමතුන් වෙනුවෙන් පිසූ ආහාර ලබා දීම සඳහාද නාවික හමුදාව සියළු පාර්ශවයන් හා එක්ව දායක වෙයි.

තවද, මෙම අධීක්‍ෂණ සංචාරයේදී “සිරි දළඳා වන්දනාව” සඳහා සහභාගීවන බැතිමතුන් හට එම වන්දනාමාන කටයුතු පහසුවෙන් සිදුකිරීමට හැකියාව ලැබෙන අයුරින් නාවික හමුදා පුද්ගලයින් අවශ්‍ය පරිදි රාජකාරියේ යෙදවීමට නිසි උපදෙස් ලබා දුන් නාවික හමුදාධිපති, එම රාජකාරීන් සඳහා අනුයුක්ත නාවික හමුදා පුද්ගලයින්ගේ සුභසාධන පහසුකම් අධීක්‍ෂණය කිරිමද එහිදී සිදු කෙරිණි.