“සයුරත සූර්ය මංගල්‍ය - 2025” සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය සිඳුරළ නෞකාව මතදී උත්කර්ෂවත් අයුරින් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවය සහ හරිත ටීවී ආයතනය හා එක්ව සංවිධානය කරන ලද “සයුරත සූර්ය මංගල්‍ය - 2025” සිංහල හා දෙමළ අළුත් අවුරුදු උත්සවය 2025 අප්‍රේල් මස 14 වැනි දින ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාවේදී, පාරම්පරික හෙළ සිරිත් විරිත් සහ සංස්කෘතිකාංග සහිතව උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, 2025 අප්‍රේල් මස 14 වැනි දින අළුයම 0321 පැයට අළුත් අවුරුදු නැකත උදාවීමත් සමඟ සිඳුරළ නෞකාවේ අවුරුදු උත්සවය ආරම්භ විය. එතැන් සිට අවුරුදු නැකත් චාරිත්‍ර සහ නාවික දිවිය සම්බන්ධයෙන් සිදුකෙරුණු සාකච්ඡා මණ්ඩපය සඳහා පරිසරවේදී තිලක් කන්දේගම මහතා සහ සිඳුරළ නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් මහේෂ් කුලසිරි සහභාගී විය.

හෙළ සිරිත් විරිත් සඳහා මුල්තැනක් දෙමින් ආරම්භ වූ “සයුරත සූර්ය මංගල්‍ය - 2025” සාම්ප්‍රදායික සිංහල හා දෙමළ සංස්කෘතිකාංග හා ජන ක්‍රීඩා අංගයන් ගෙන් මෙන්ම, නාවික හමුදා සංගීත අංශයේ සංස්කෘතික ගායන, වාදන සහ නර්තනාංගයන්ගෙන් විචිත්‍රවත් විය. එම අවස්ථාවන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවය ඔස්සේ සජීවීව ශ්‍රවනය කිරීමටත් හා එහි සමාජ මාධ්‍ය ඔස්සේ සහ හරිත ටීවී නාලිකාව ඔස්සේ සජීවීව මහජනතාවට නැරඹීමට ඉඩ සලසා තිබූ අතර, එමඟින් නාවික හමුදා නෞකාවක ඊට අනන්‍ය වූ චාරිත්‍ර හා ඒ ඇසුරින් සිදුකෙරුණු අවුරුදු ක්‍රීඩා සමඟින් පැවැත්වුනු අවුරුදු උත්සවයක නැවුම් අත්දැකීමක් විඳ ගැනීමටද මහජනතාවට අවස්ථාව උදාවිය.

මෙම අවස්ථාව නිරීක්‍ෂණය සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණී, අනූෂා බානගොඩ මැතිණිය සහභාගී වූ අතර, ජයග්‍රාහකයින් වෙත තිලිණ ප්‍රධානය සඳහාද නාවික හමුදාධිපති සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපති තුමිය සහභාගී විය.

එහිදී අදහස් දැක්වූ නාවික හමුදාධිපති, ලක්වාසී සියලුම ජනතාව වෙත සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් සුභ පැතුම් පිරිනමා, ශ්‍රී ලංකා නාවික හමුදාව ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් දායකවීමට සමඟාමීව, "උදාර සංස්කෘතික ජීවිතයක් - සහකම්පනීය ජනතාවක් " යන දැක්මට අනුව සංස්කෘතික මිනිසෙක් බිහිකිරීම සඳහාද දායක වන බව පවසන ලදී. එමෙන්ම, දිය යට අවුරුදු උත්සවයක අසිරිය ජනතාවට විඳගැනීමට අවස්ථාව උදා කරදුන් නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් විදුලිය හා හරිත ටීවී ආයතනය හා එක්ව සංවිධානය කළ "සයුරත සූර්යය මංගල්‍යය", හෙළ සිරිත් විරිත් හා වටිනා සංස්කෘතිකාංග නව මුහුණුවරකින් ජනගත කිරීමක් ද වන බවත්, ඒ සඳහා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති තුමන් ඇතුළු අනෙකුත් පාර්ශ්වයන් දැක්වූ දායකත්වය ඉතා අගයකොට සළකන බවත් එහිදී නාවික හමුදාධිපති විසින් පවසන ලදි.

තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති, මහාචාර්යය උදිත ගයාශාන් ගුණසේකර මහතා, නාවික හමුදා මූලස්ථානයේ හා බටහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, සේවා වනිතා සාමාජිකාවන්, අනුග්‍රාහක භවතුන්, ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.