ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් BUNGO සහ ETAJIMA නෞකා දිවයිනෙන් පිටත් වෙයි
2025 අප්‍රේල් මස 01 වැනි දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායේ BUNGO (MST-464) සහ ETAJIMA (MSO-306) නෞකා එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව 2025 අප්‍රේල් මස 04 වන දින දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකා වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.
මෙම ඒකාබද්ධ නාවික අභ්‍යාසයේදී (PASSEX) නෞකා පෙළ හැඩයන් ඔස්සේ ගමන් කිරීම, නෞකා අතර පණිවුඩ හුවමාරුව වැනි නාවික අභ්‍යාසයන් සාර්ථකව සිදු කරන ලද අතර, නෞකා අතර ආචාර සමාචාර සිදු කිරීමෙන් අනතුරුව එම අභ්‍යාසය නිමාවට පත්විය.
එමෙන්ම, මෙම නෞකා ද්විත්වය දිවයිනේ රැඳී සිටි කාලසීමාව තුළ නෞකාවන්ගේ නැව්මුළුවන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදා අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කළ වැඩසටහන් සඳහා සහ දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට මෙන්ම, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කෙරුණු වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහාද සහභාගී වූ අතර, එම නෞකාවන්ගේ මෙහෙයුම් ක්‍රියාකාරීත්වය නිරීක්‍ෂණය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයින් හටද අවස්ථාව උදා විය.
තවද, මෙම නිල සංචාරයේදී, නෞකා ද්විත්වයේ අණදෙන නිලධාරීන් බටහිර නාවික විධානයේ ආඥාපති සමඟ සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් සමඟ 2025 අප්‍රේල් මස 01 වැනි දින නිල හමුවීම් සිදු කෙරුණු අතර, මෙවැනි නිල සංචාර මඟින් වැඩි දියුණු වන සහයෝගීත්වය සහ හුවමාරු කරගනු ලබන නව දැනුම සහ අත්දැකීම්, ඉදිරියේදී සාගර කළාපයේ පොදු සමුද්‍රීය අභියෝග සඳහා සාමූහිකව ප්‍රතිචාර දැක්වීමට මහඟු පිටුවහලක් ගෙනදෙනු ඇත.