ධීවර ප්‍රජාව වඩාත් සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් මූලික ජීවිත ආධාරක පුහුණු වැඩසටහන් මාලාවක් නාවික හමුදාවේ මූලිකත්වයෙන් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව ධීවර දෙපාර්තමේන්තුව හා එක්ව ධීවර ප්‍රජාව වෙනුවෙන් මූලික ප්‍රථමාධාර සහ මූලික ජීවිත ආධාරක පුහුණු (Basic Life Support - BLS) වැඩසටහනක් 2025 මාර්තු මස 26 වැනි දින සිට 2025 මාර්තු 28 වැනි දින දක්වා ත්‍රීකුණාමළය කොඩ්බේ සහ වාලච්චේන ධීවර වරායන් කේන්ද්‍ර කරගනිමින් සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි. එහිදී එම වැඩ සටහන්ට සහභාගී වූ ධීවරයින් වෙත ධීවර දෙපාර්තමේන්තුව සහ නාවික හමුදාව වෙතින් සහතික පත් ප්‍රදානයක්ද සිදු කෙරිණි.

ඒ අනුව, නාවික හමුදාවේ සමාජ මෙහෙවර ව්‍යාපෘතියක් ලෙස නැගෙනහිර නාවික විධාන රෝහල මඟින් සංවිධානය කල මෙම වැඩසටහන මඟින්, මුහුදේදී ඇතිවන හදිසි රෝගී තත්වයකදී මූලික ප්‍රථමාධාර ලබාදීම හා එවැනි හදිසි අවස්ථාවක් කළමණාකරනය කරගන්නා ආකාරය, බෝ නොවන සහ පූර්ව බෝ නොවන රෝග වැළැක්වීම, මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම, මානසික යහපැවැත්ම මෙන්ම සෞඛ්‍ය පිළිවෙත්වල වැදගත්කම පිළිබඳ ධීවර ප්‍රජාව දැනුවත් කිරීම සිදු කෙරිණි.