එක්සත් ජනපද ඉන්දු - පැසිෆික් විධානයේ අණදෙන නිලධාරී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

එක්සත් ජනපද ඉන්දු - පැසිෆික් විධානයේ (INDOPACOM) අණදෙන නිලධාරී, අද්මිරාල් සැමුවෙල් ජේ. පපාරෝ නිල හමුවක් සඳහා අද (2025 මාර්තු 21) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවිය.

ඒ අනුව, නාවික හමුදා මූලස්ථානය වෙත එක්සත් ජනපද ඉන්දු - පැසිෆික් විධානයේ අණදෙන නිලධාරී, අද්මිරාල් සැමුවෙල් ජේ. පපාරෝ උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසු සම්ප්‍රදායානුකූලව නාවික හමුදා සම්මාන ආචාර මුරයක් මඟින් උත්තමාචාර පිරිනැමීම සිදු කෙරිණි.

අනතුරුව, නාවික හමුදාධිපති සහ එක්සත් ජනපද ඉන්දු - පැසිෆික් විධානයේ අණදෙන නිලධාරී අතර ඉන්දු - පැසිෆික් කලාපයේ දිගුකාලීනව පවත්නා එක්සත් ජනපද - ශ්‍රී ලංකා ආරක්‍ෂක සහයෝගීතාව ඇතුළු ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කෙරිණි. එහිදී, අද්මිරාල් සැමුවෙල් ජේ. පපාරෝ විසින් ඉන්දු - පැසිෆික් කලාපයේ පොදු අභියෝග වෙත මුහුන දීම සඳහා වන එක්සත් ජනපදයේ අඛණ්ඩ කැපවීම අවධාරණය කෙරුණු අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිලින හුවමාරු කරගැනීමද සිදු කෙරිණි.

නාවික හමුදා මූලස්ථානයේ සංචාරයෙන් අනතුරුව, අද්මිරාල් සැමුවෙල් ජේ. පපාරෝ එක්සත් ජනපදය වෙතින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබාදුන් ශ්‍රී ලංකා නාවික නෞකා විජයභාහු නෞකාවේ සංචාරයක නිරතවී, එහි මෙහෙයුම් ක්‍රියාකාරීත්වය නිරීක්‍ෂණය කිරීම සිදු කෙරුණු අතර, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිණී ගරු ජුලී චන්ග් මැතිණියද සහභාගී විය. එහිදි විජයභාහු නෞකාව සාගර කලාපයේ සාම්ප්‍රදායික නොවන සමුද්‍රිය අභියෝග ඇතුළු නීති විරෝධී කටයුතු මැඩ පවත්වා, සමුද්‍රිය ආරක්‍ෂාව වෙනුවෙන් කාර්යක්‍ෂමව හා ඵලදායි ‍ලෙස යෙදවීම සහ එම නෞකාව මඟින් සිදුකල සාර්ථක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමේ මේහෙයුම් පිළිබඳ එක්සත් ජනපද ඉන්දු - පැසිෆික් විධානයේ අණදෙන නිලධාරීව දැනුවත් කිරීම සිදු කෙරිණි.

එමෙන්ම, සාගර කලාපයේ පොදු සමුද්‍රීය අභියෝග ජය ගැනීම උදෙසා හවුල්කාරීත්වය ශක්තිමත් කිරීමේ සහ වර්ධනය කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත එක්සත් ජනපදය වෙතින් ලබාදී ඇති ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකා, නාවික හමුදා නෞකා බළඇණියට අනුයුක්තව සිදුකරනු ලබන සාර්ථක සහ ඵලදායී සමුද්‍රිය ආරක්‍ෂක මෙහෙයුම් සම්බන්ධවද සාකච්ඡාවට ලක්විය.

තවද, මෙම අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් පිරිසක්ද සහභාගී වූහ.