“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියේ කාර්යය භාර්යය පිළිබඳව නාවික හමුදා පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහනක්

“පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” යන රජයේ දැක්ම යථාර්තයක් කරගැනීම වෙනුවෙන්, ශ්‍රී ලංකාව සමාජමය, පාරිසරික සහ ආචාරධර්මීය වශයෙන් වෙනස් කිරීමේ “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිමේ ජනාධිපති කාර්යය සාධක බලකායේ ප්‍රධාන හවුල් කරුවෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරනු ලබන අතර, ඒ සම්බන්ධයෙන් නාවික හමුදා පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025 මාර්තු මස 17 වැනි දින උතුරු නාවික විධානයෙන් ආරම්භ විය.

“පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” යන රජයේ දැක්ම යථාර්තයක් කර ගැනීම මගින්; පරිසමාප්ත ජීවිතයක් - සුවපහසු රටක්, ගෞරවණීය ජීවිතයක් - සුරක්‍ෂිත රටක්, නවීන ජීවිතයක් - ධනවත් රටක් සහ අභිමානවත් ජීවිතයක් - නොසැලෙන රටක් ගොඩනැගීමේ ත්‍රිවිද ප්‍රවේශය ලෙස දිළිඳු බව පිටු දැකීම, ඩිජිටල් ආර්ථිකයක් නිර්මාණය කිරීම සහ ක්ලීන් ශ්‍රී ලංකා ජාතික ව්‍යාපෘතිය රජය විසින් ක්‍රියාවට නන්වා ඇත.

ඒ අනුව, මෙම දැනුවත් කිරීමේ වැඩසටහන මඟින් ශ්‍රී ලංකාව සමාජීය, පාරිසරික සහ ආචාර ධර්මීය වශයෙන් වෙනස්කර නැවත ප්‍රථිස්ථාපනය කිරීමේදී, නාවික හමුදාවේ කාර්යය භාර්යය, වගකීම හා වගවීම, අභියෝග සහ එම අභියෝග ජයගැනීමෙන් ලැබෙන ප්‍රථිලාභ පිළිබඳව දැනුවත් කිරීම සිදුකරනු ලබයි. එමෙන්ම, පුළුල් සමාජීය, පාරිසරික සහ ආචාරධර්මීය වෙනසක් තුළින් ශ්‍රි ලංකාව නැවත ප්‍රථිස්ථාපනය කිරීමේදී, ප්‍රථමයෙන් සෑම පුද්ගලයෙකුගේම දැනුම, ආකල්ප, කුසලතා, හැසිරීම සහ ජීවන රටාව වෙනස් විය යුතු ආකාරයත්, අන්තර් පුද්ගල, ආයතනමය, සමාජීය සහ ප්‍රථිපත්තීමය වශයෙන් පුද්ගලයෙකුගේ චර්යාව වෙනස් විය යුතු ආකාරයත් සම්බන්ධයෙන් මෙම දැනුවත් කිරීමේ වැඩසටහනේදී පුළුල් ලෙස සාකච්ඡා කෙරේ.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහන 2025 මාර්තු මස 17 වැනි දින ශ්‍රී ලංකා ‍නාවික නෞකා උත්තර සහ උතුරු නාවික විධානයේ නෞකා සහ යාත්‍රාවන් ආවරණය වන පරිදිත්, 2025 මාර්තු මස 18 වැනි දින ශ්‍රී ලංකා‍ නාවික නෞකා වේළුසුමන, කංචදේව සහ‍ ගෝඨයිම්බර ආයතනත් ආවරණය වන පරිදි මෙම වැඩ සටහන සිදු කෙරිණි. එමෙන්ම, අද (2025 මාර්තු 19) සිට 2025 මාර්තු 21 වැනි දින දක්වා මෙම වැඩ සටහන ශ්‍රී ලංකා නාවික නෞකා එළාර, අග්බෝ, වසභ සහ නාවික ස්ථානගත කිරීම වෙත්තලකේනි යන ආයතන ආවරණය කරමින් පැවැත්වීමට නියමිත අතර, නාවික හමුදාධිපතිගේ උපදෙස් මත මෙම වැඩසටහන සියළුම නාවික විධානයන් ආවරණය වන පරිදි පැවැත්විම සඳහා නාවික හමුදාව කටයුතු සංවිධානය කර ඇත.

තවද, “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතිය යටතේ සිදුකෙරෙන “පිරිසිදු වෙරළ තීරයක් - ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්” සහ “සතුට සපිරි පාසලක්” යන තේමා මුල්කරගනිමින් සිදුකෙරෙන දිවයින වටා වූ වෙරළ තීරය ආකර්ෂණීය ලෙස ප්‍රථිස්ථාපනය කිරීමේ වැඩසටහන් සහ සුරක්‍ෂිත ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම මඟින්, ප්‍රීතිමත්, නිර්මාණශිලී, විනයගරුක සහ කුසලතා සපිරි උද්යෝගිමත් පාසල් ප්‍රජාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් සිදුකෙරෙන පාසල් පරිශ්‍ර ආකර්ෂණීය ලෙස ප්‍රථිස්ථාපනය කිරීමේ ව්‍යාපෘති සඳහා නාවික හමුදාව අඛණ්ඩව ප්‍රජාසත්කාරක දායකත්වය සහ සමාජ බලගැන්වීම සිදුකරනු ලබයි.