ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් විශේෂ කාන්තා දින වැඩසටහනක් පවත්වයි

මාර්තු මස 08 දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, අනූෂා බානගොඩ මැතිණියගේ උපදෙස් පරිදි කාන්තා නිලධාරීන්, කාන්තා නාවිකයින්, සහ නාවික හමුදා පුද්ගලයින්ගේ භාර්යාවන් උදෙසා විශේෂ කාන්තා දින වැඩසටහනක් 2025 මාර්තු මස 08 වැනි දින වැලිසර නාවික පරිශ්‍රයේ Wave N’ Lake උත්සව ශාලාවේ දී, ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණී, වෛද්‍ය රුවිනි රසිකා පෙරේරා මැතිණියගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදාධිපති ගේ සහභාගීත්වයෙන් උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

“සියලුම කාන්තාවන් සහ ගැහැනු දරුවන් සඳහා: අයිතිවාසිකම්, සමානත්වය, සවිමත් කිරීම” යන තේමාව මෙවර (2025) ජාත්‍යන්තර කාන්තා දින තේමාව ලෙස නම්කර ඇති අතර, ඊට සමගාමීව ‘තැනුමට තිරසර හෙටක් – සවිමත් ඇය වේ මඟක්’ යන්න ප්‍රධාන තේමාව කර ගනිමින් රජය විසින් ‘ජාතික කාන්තා සතිය’ ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව, නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් සංවිධානය කල කාන්තා දින වැඩසටහන, නාවික හමුදාවේ රියර් අද්මිරාල් නිලයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් තිදෙනෙකුගේ භාර්‍යාවන් විසින් මෙහෙයවන ලද සංගිතය මුසුවු කථිකාවතකින් සහ සේවා වනිතා ඒකකයේ කාන්තා නාවික පුද්ගලයින්ගේ ගායන අංගයන්ගෙන් මෙන්ම, නාවික හමුදා සංස්කෘතික වාදක කණ්ඩායමේ ගායන හා නර්තනාංගයන්ගෙන් ද වර්ණවත් විය. එමෙන්ම, අයූර්වේද සත්කාර හා නිරෝගීතාවය පිළිබඳ දේශණයක් සහ නිතීය හා කාන්තා අයිතිවාසිකම් පිළිබඳව නාවික හමුදා නීති අංශයේ කොමාණ්ඩර් චතුරිකා ජයමිණි විසින් සිදුකල දැනුවත් කිරීමේ දේශණයක්ද මෙම කාන්තා දින වැඩසටහනට ඇතුලත් විය.

තවද, සේවා වනිතා කාන්තා දින වැඩසටහන සඳහා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකාවන්, කමිටු සාමාජිකාවන්, නාවික හමුදා මුලස්ථානය සහ නාවික විධාන නියෝජනය කරමින් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ කාන්තා නිලධාරිණියන් සහ නාවිකයන්, නාවික හමුදා පුද්ගලයින්ගේ භාර්යාවන් සහ සේවා වනිතා ඒකකයේ කාර්යය මණ්ඩලය ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.