පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS ASLAT’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් දිවයිනෙන් පිටත් වෙයි
2025 මාර්තු මස 05 වැනි දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS ASLAT’ යුද නෞකාව එම නිල සංචාරය අවසන් කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, අද (2025 මාර්තු 06) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.
මෙම ඒකාබද්ධ නාවික අභ්‍යාසයේදී (PASSEX) නෞකා පෙළ හැඩයන් ඔස්සේ ගමන් කිරීම, නෞකා අතර පණිවුඩ හුවමාරුව වැනි නාවික අභ්‍යාසයන් සාර්ථකව සිදු කරන ලද අතර, නෞකා අතර ආචාර සමාචාර සිදු කිරීමෙන් අනතුරුව එම අභ්‍යාසය නිමාවට පත්විය.
නෞකාව දිවයිනේ රැදීසිටි කාලසීමාව තුල එහි අණදෙන නිලධාරී කපිතාන් MUHAMMAD AZHAR AKRAM සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චන්දිම සිල්වා අතර සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ අතර නිල හමුවන් සිදු කෙරුණු අතර, එහි නැව්මුළුව කොළඹ ප්‍රදේශයේ ආකර්ෂණීය සංචාරක ස්ථාන නැරඹීම සඳහා සංචාරය කිරීමටද එක්විය.
තවද, නෞකාවේ මෙහෙයුම් ක්‍රියාකාරිත්වය පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයන් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද එම නෞකාව තුළදී පැවැත්විණි.