නාවික හමුදාවේ පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් නිපදවූ LINE THROWING ADAPTER කට්ටල මෙහෙයුම් සඳහා භාර දෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ පර්යේෂණ හා සංවර්ධන ඒකකය (Research and Development Unit - RDU) මඟින් T 56 අවිය සඳහා නිෂ්පාදනය කරන ලද Line Throwing Adapter කට්ටල මෙහෙයුම් සඳහා නිල වශයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු සහ සයුරල නෞකාවන් වෙත භාරදීම 2025 පෙබරවාරි මස 28 වැනි දින බටහිර නාවික විධානයේ ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

නාවික හමුදාධිපතිගේ උපදෙස් මත, ධජ නිලධාරී නාවික දියත් විධානයගේ සංකල්පයකට අනුව, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය (RDU) විසින් මෙම Line Throwing Adapter කට්ටලය නිෂ්පාදනය කිරිම, පර්යේෂණ හා සංවර්ධන උපදේශක කමිටුවේ (Research and Development Advisory Committee - RDAC) අනුමැතිය සහ ආරක්‍ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ (Research and Development Advisory Committee - CDRD) මුල්‍ය දායකත්වය මත සිදු කෙරිණි.‍ මෙම නව නිපැයුම මෙහෙයුම් කටයුතු සඳහා යොදා ගැනීම මඟින්, මුහුදේදී නෞකා දෙකක් අතර භාණ්ඩ හුවමාරු කිරීම, ආපදාවකට ලක්වී ඇති නෞකාවක් ඇදගෙන යාම වැනි නාවික මෙහෙයුම්වලදී එම නෞකා අතර සිදු කරනු ලබන කඹ හුවමාරුව වඩාත් ආරක්‍ෂිතව සහ කාර්යක්‍ෂමව සිදු කර ගැනීමට හැකියාව ලැබේ. මෙම නව නිපැයුම් සඳහා නාවික හමුදාවේ පවත්නා සම්පත් යොදාගනු ලබන බැවින්, මේ සඳහා වැයවන විශාල පිරිවැයක් ඉතිරි කරගැනීමටද නාවික හමුදාවට හැකියාව ලැබෙනු ඇත.

එමෙන්ම, නාවික හමුදාවේ තාක්ෂණික හා ශිල්පීය දැනුම සහ සම්පත් මනා කළමනාකාරීත්වයකින් යුතුව භාවිතා කරමින් සිදුකරනු ලබන මෙවැනි නව නිපැයුම් තුලින්, නාවික හමුදාවේ මෙහෙයුම් කාර්යක්‍ෂමතාවය ඉහළ නැංවීමටත් මහඟු පිටුවහලක් ගෙනදෙනු ඇත.

ඒ අනුව, මෙම පළමු Line Throwing Adapter යුගලය ලබාදීමේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු සහ සයුරල නෞකාවන්හි අණදෙන නිලධාරීන්, වැඩ බලන අධ්‍යක්‍ෂ නාවික ප්‍රතිපත්ති හා සැලසුම් සහ නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.