කච්චතිව් වාර්ෂික දේව මංගල්‍යය උත්කර්ශවත්ව පැවැත්වීම සඳහා නාවික හමුදාව යටිතල පහසුකම් සංවර්ධනය කරයි

යාපන අර්ධද්වීපයේ පිහිටි කච්චතිව් දූපතේ, ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය, 2025 මාර්තු මස 14 සහ 15 දෙදින උත්කර්ෂවත්ව පැවැත්වීමට, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් කටයුතු සූදානම් කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ස්ථාපනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ තාක්‍ෂණික, සම්පත් හා ශ්‍රම දායකත්වය ලබාදීම සිදු කරමින් පවතී.

ඒ අනුව, නාවික හමුදාධිපතිගේ උපදෙස් හා මඟපෙන්වීම මත, උතුරු නාවික විධානයේ ආඥාපතිගේ අධීක්‍ෂණයෙන්, කච්චතිව් ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය සඳහා සහභාගී වන බැතිමතුන් වෙනුවෙන් තාවකාලික ජැටි ඉදි කිරීම, පානීය ජලය සඳහා ජල පද්ධති ස්ථාපිත කිරීම, සනීපාරක්‍ෂක පහසුකම්, තාවකාලික කුටි සහ තාවකාලික මංමාවත් සකස් කිරීම මෙන්ම විදුලි බල පහසුකම් ස්ථාපනය කිරීමද මේ දිනවල කඩිනමින් සිදුකරමින් පවතියි.

එමෙන්ම, බැතිමතුන්ගේ ආරක්‍ෂාව සඳහා ජීවිතාරක්‍ෂක කණ්ඩායම් යෙදවීමට අවශ්‍ය ස්ථාන හඳුනා ගැනීම හා වෛද්‍ය පහසුකම් සැලසීම සඳහා තාවකාලික ගිලන්හලක් ඉදිකිරීමද නාවික හමුදාව විසින් සිදුකරනු ලබන අතර, නාවික හමුදාවේ දායකත්වයෙන් ඉදිකරන ලද කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ පිළිසකර කිරීම ඇතුළු අළුත්වැඩියා කටයුතු සහ දේවස්ථානය අවට ප්‍රදේශය හා මංමාවත් එළි පෙහෙළි කිරීම ද නාවික හමුදාව විසින් සිදුකරනු ලබයි.

තවද, වාර්ෂිකව පැවැත්වෙන මෙම දේව මංගල්‍යය සඳහා සහභාගී වන බැතිමතුන් ඇතුළුව අනෙකුත් සියළු පූජකයින් සහ නිලධාරින් ද, විවිධ වු සැපයුම් ද කන්කසන්තුරය සහ කුරිකඩ්ඩුවාන් සිට කච්චතිව් දූපත දක්වා ආරක්‍ෂිතව මුහුදු මාර්ග‍යෙන් ප්‍රවාහනය කිරීම නාවික හමුදාව මඟින් සහ නාවික හමුදාවේ අධික්‍ෂණය යටතේ සිදු කෙරේ.