ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් එච්එන්එස් පෙරේරා වැඩ භාර ගනියි

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු රියර් අද්මිරාල් එච්එන්එස් පෙරේරා අද (2025 පෙබරවාරි 13) වැලිසර, ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේදී, ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදුකෙරිණි.

නාවික හමුදා සම්ප්‍රදායානුකූලව ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානය වෙත රියර් අද්මිරාල් එච්එන්එස් පෙරේරා පිළිගැනීමෙන් අනතුරුව, ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් කටයුතු කළ නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ විසින් ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේදී, ආඥාපති ධූරයෙහි රාජකාරීන් නව ආඥාපති වෙත භාර දීම සිදු කෙරිණි.

තවද, ස්වේච්ඡා නාවික හමුදා මුලස්ථානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් විසින් සුබපැතීමෙන් අනතුරුව, රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව ස්වේච්ඡා නාවික හමුදා මුලස්ථානය වෙතින් සමුදීම සිදු කෙරිණි.