ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 256 වැනි බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 367 ක් විසිර යයි

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 256 වැනි බඳවා ගැනීමට අයත් නිත්‍ය ආධුනික නාවිකයින් දෙසීය දහනවයක් (219) සහ ස්වේච්ඡා ආධුනික නාවිකයන් එකසීය හතලිස් අටදෙනෙකු (148) ඇතුළු ආධුනික නාවිකයින් තුන්සීය හැට හත් දෙනෙකු (367) සිය මූලික පුහුණුව සාර්ථකව අවසන් කර 2025 පෙබරවාරි මස 11 වැනි දින ගාල්ල, බූස්ස ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යාම සිදුකෙරිණි.

ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ආඥාපති සහ අණදෙන නිලධාරී, කපිතාන් ලෝහිත ද සිල්වා ගේ ආරාධනයෙන් මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ නාවික හා ගුවන් මෙහෙයුම් අධ්‍යක්‍ෂ ජෙනරාල් වශයෙන් කටයුතු කරනු ලබන, රියර් අද්මිරාල් තුෂාර උඩුගම සහභාගී වූ අතර, මූලික පුහුණුව තුළ විශේෂ කුසලතා දැක්වූ ආධුනික නාවිකයින් සහ ආධුනික කාන්තා නාවිකයින් වෙත කුසලාන පිරිනැමිම එහිදී ප්‍රධාන ආරාධිතයා විසින් සිදු කෙරිණි.

ඒ අනුව, 256 වන බඳවා ගැනීම යටතේ විසිර යන ලද නිත්‍ය අංශයේ ආධුනික නාවිකයින් දෙසීය දෙදෙනෙක් (202), නිත්‍ය ආධුනික කාන්තා නාවිකයින් දාහහත් දෙනෙකු (17), ස්වේච්ඡා ආධුනික නාවිකයින් හැත්තෑ පස් දෙනෙකු (75) සහ ස්වේව්ඡා ආධුනික කාන්තා නාවිකයින් හැත්තෑ තුන් දෙනෙකු (73) අතරින් විශිෂ්ඨතම ආධුනික නාවිකයාට හිමි කුසලානය ආධුනික නැවි බීඑල් ගුණවර්ධන විසින් හිමිකර ගන්නා ලදි. එමෙන්ම, සියලුම විෂයන් සඳහා වැඩිම ලකුණු ලබාගත් ආධුනික නාවිකයාට හිමි කුසලානය ආධුනික කාන්තා නැවි ඩබ්එල්එස් මධුශානී විසින්ද, දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය ආධුනික නැවි බීඑච්ඒඑස් වීරසූරිය විසින්ද, දක්‍ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය ආර්එම්එස්එස් රත්නායක විසින් සහ දක්‍ෂතම ඉලක්කකරුට හිමි කුසලානය ආධුනික නැවි ජීජේඩීආර් ජයලත් විසින්ද හිමි කර ගන්නා ලද අතර, 256 වන ආධුනික බඳවා ගැනීමට අයත් දක්‍ෂතම අංශයට හිමි කුසලානය ‘විජයබා’ අංශය හිමි කර ගන්නා ලදී.

මෙහිදී විසිර යන ආධුනික නාවිකයන් ඇමතූ රියර් අද්මිරාල් තුෂාර උඩුගම, විසිර යන ආධුනික නාවිකයන් වෙත ප්‍රථමයෙන් සිය සුභාශිංෂණ පිරිනැමීම සිදුකෙරිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු, තම මව්බිම ආරක්‍ෂා කරගැනීමේ උදාර අරමුණ පෙරදැරි කොටගෙන ශ්‍රී ලංකා නාවික හමුදාවට බැඳී ඉතා දුෂ්කර වූත් කටුක වූත් මුලික පුහුණුව සාර්ථකව අවසන් කල වෘත්තීය නිපුණතාවයක් සහිතව ආචාරශීලි, විනයගරුක, අභියෝගවලට මුහුණු දියහැකි ශක්තිමක් නාවිකයින් පිරිසක් ලෙස අභිමානයෙන් යුතුව විසිර යනු ලබන ආධුනික නාවිකයින් වෙත ඉදිරියේදී වෘත්තීමය නාවික හමුදාවක සුවිශේෂී කාර්යභාරයක් පැවරෙණ බව පවසන ලදි. මව්බිමේ භෞමික අඛණ්ඩතාවය සහ ස්වෛරීභාවය රැක ගනිමින් ජාතික සංවර්ධන ක්‍රියාවලියේ ප්‍රධාන පාර්ශව කරුවන් වීමේ වගකීම මනාව වටහා ගත් කාර්යශූර, විනය ගරුක හා අභියෝග හමුවේ නොසැළෙන නාවිකයෙකු ලෙස මවුබිමට විශිෂ්ඨ සේවයක් ලබා දීමට විසිර යන සියළුම ආධුනික නාවිකයින් අධිෂ්ඨාන කර ගත යුතු බව පැවසු රියර් අද්මිරාල් තුෂාර උඩුගම, ජාතික ආරක්‍ෂාව සහ සංවර්ධණය වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පැවරෙන පුළුල් පරාසයක වගකීම ඉටුකිරීම සඳහා දායක වීමේ යුග මෙහෙවරට උර දීම වෙනුවෙන්, තම ආදරණීය දූ පුතුන් නාවික හමුදාව වෙත දායද කර ඔවුන් දිරි ගැන්වු විසිර යන ලද ආධුනික නාවිකයින්ගේ දෙමාපියන් වෙත ප්‍රණාමය පිරිනැමීමටද එහිදි කටයුතු‍ කෙරිණි.

එමෙන්ම, විසිර යන ලද ආධුනික නාවිකයන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණු දර්ශනීය සරඹ සංදර්ශනයකින් සහ නාවික හමුදා තුර්යවාදක කණ්ඩායම හා සංස්කෘතික නර්තන කණ්ඩායම විසින් ඉදිරිපත් කල විචිත්‍රවත් සංදර්ශනයකින් මෙන්ම නාවික හමුදා අංගම් හරඹ සංචිතයේ සංදර්ශණයකින්ද වර්ණවත් වූ මෙම විසිරයාමේ පෙළපාලිය සාම්ප්‍රදායික හිරු අස්ථවිය චාරිත්‍රයෙන් අනතුරුව නිමාවට පතවිය.

තවද, මෙම විසිරයෑමේ පෙළපාලිය සඳහා ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, රියර් අද්මිරාල් රාජප්‍රිය සේරසිංහ, දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අදමිරාල් කෝසල වර්ණකුලසූරිය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, රියර් අද්මිරාල් රොහාන් ජෝෂප් ඇතුළු ධජ නිලධාරීන්, දකුණු නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, මෙන්ම විසිර යන ලද ආධුනික නාවිකයින්ගේ දෙමාපියන් පිරිසක් සහභාගී වී සිටියහ.