ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ බේරේ වැව ප්‍රතිස්ථාපනය සඳහා මුල පිරීම වෙනුවෙන් නාවික හමුදාවේ දායකත්වය

“පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” යන රජයේ දැක්ම යථාර්තයක් බවට පත්කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ, බේරේ වැව ප්‍රතිස්ථාපනය සඳහා මුල පිරීමේ ව්‍යාපෘතියක් බස්නාහිර පලාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ සංවිධායක්වයෙන් අද (2025 පෙබරවාරි 06) ආරම්භ වුණු අතර, ඒ සඳහා නාවික හමුදා යාත්‍රා සහ ශ්‍රම දායකත්වය ලබාදීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

ඒ අනුව, දෙදිනක් පුරා පැවැත්වෙන මෙම බේරේ වැව පිරිසිදු කිරීමේ වැඩසටහන සඳහා යුද, නාවික සහ ගුවන් හමුදා මෙන්ම සිවිල් ආරක්‍ෂක බළකායේ සාමාජිකයින්ද සහභාගී වු අතර, එම පිරිසිදු කිරිමේ ව්‍යාපෘතිය මඟින් බේරේ වැවේ ජෛව විවිධත්වය සුරැකීම, අලංකාරත්වය වැඩි වර්ධනය කිරීම සහ අපද්‍රව්‍ය ක්‍රමවත්ව ඉවත් කිරීමත්, එතුලින් සංචාරක ආකර්ෂණය දිනා ගැනීමත් අපේක්‍ෂා කර ඇත.

තවද, ජාතික කර්තව්‍යන්හිදී තාක්‍ෂණික සහ ශිල්පීය දායකත්වය ලබාදීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරතුරුව සූදානමින් සිටියි.