අභිනව නාවික හමුදාධිපති මහනුවර ‍ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගනියි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වන නාවික හමුදාධිපති ලෙස ධුරයේ රාජකාරි භාරගැනීමෙන් පසු, අද (2025 ජනවාරි 08) අස්ගිරි සහ මල්වතු දෙපාර්ශ්වයේ මහානායක හිමිවරුන් බැහැදැක, මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා සමිඳුන් වැඳපුදා ගනිමින්, නාවික හමුදාවේ ඉදිරි කටයුතු සඳහා ආශිර්වාද ලබාගැනීමට කටයුතු කෙරුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, අනූෂා බානගොඩ මැතිණිය ද සහභාගී විය.

ඒ අනුව, අස්ගිරිය මහ විහාරයේදී, අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ මහානායක, අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහානායක මා හිමිපාණන් වහන්සේ බැහැදැක නාවික හමුදාධිපති සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපති තුමිය විසින් නමස්කාර පූර්වකව පිරිකර පූජා කිරීමෙන් පසු, මහානායක හිමිපානන් විසින් නාවික හමුදාවේ ඉදිරි කටයුතු සාර්ථකව සිදු කිරීම සඳහා අනුශාසනා කර ආශිර්වාද ප්‍රාර්ථනා කෙරිණි. අනතුරුව, නාවික හමුදාධිපති අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වේඬරුවේ උපාලි නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගැනීම සිදු කෙරිණි.

එමෙන්ම, නාවික හමුදාධිපති විසින් මල්වතු මහා විහාරයේදී, මල්වතු මහා විහාර පාර්ශවයේ මහානායක, අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානායක මාහිමිපාණන් සහ අතිපූජ්‍ය ආචාර්ය නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ඛිත විජිතසිරි අනුනාහිමි බැහැදැක නමස්කාර පූර්වකව පිරිකර පූජා කර ආශිර්වාද ලබා ගන්නා ලදී.

අස්ගිරි සහ මල්වතු දෙපාර්ශ්වයේ මහානායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගත් නාවික හමුදාධිපති මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව වෙත පිළිගැනීම, දියවඩන නිළමේ, ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් සිදු කෙරිණි. අනතුරුව, ශ්‍රී දළදා සමිඳුන් වන්දනාමාන කර නාවික හමුදාවේ ඉදිරි කටයුතු සාර්ථකව සිදුකිරීම සඳහා නාවික හමුදාධිපති විසින් ශ්‍රී දළදා සමිඳුන්ගේ ආශිර්වාද ලබා ගන්නා ලදී.

තවද, මෙම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා හා නාවික හමුදා බෞද්ධ සංගමයේ සභාපති රියර් අද්මිරාල් ජානක මාරඹේ සහ ශ්‍රී ලංකා නාවික නෞකා ශිල්ප ආයතනයේ අණදෙන නිලධාරි කපිතාන් සංජීව අන්නතුගොඩ ඇතුළු නාවික හමුදා පුද්ගලයන් පිරිසක් සහභාගී වී සිටියහ.