ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI SULTAN ISKANDAR MUDA-367’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2024 දෙසැම්බර් මස 28 වැනි දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දුනීසියානු නාවික හමුදාවේ SIGMA - CORVETTE වර්ගයට අයත් නෞකාවක් වන ‘KRI SULTAN ISKANDAR MUDA-367’ නෞකාව, එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද (2024 දෙසැම්බර් 30) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.

එමෙන්ම, නෞකාවේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් ANUGERAH ANNURULLAH, බටහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ සමඟ නිල හමුවක් බටහිර නාවික විධාන මූලස්ථානයේදී සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් බුද්ධික ලියනගමගේ සමඟ නිල හමුවක් නාවික හමුදා මුලස්ථානයේදී අද දින (2024 දෙසැම්බර් 30) පැවැත්වීමට කටයුතු කෙරිණි.

තවද, ‘KRI SULTAN ISKANDAR MUDA-367’ නෞකාව දිවයිනේ රැඳී සිටි කාලසීමාව තුල දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහාද ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට කටයුතු කෙරිණි.