ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉදිරිගමන් මඟ පිළිබඳ යෝජිත උපායමාර්ගික සැලැස්ම - 2030 සහ ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ සමුද්‍රීය ගුවන් මෙහෙයුම් පිළිබඳ උපායමාර්ගික සැලැස්ම එලි දැක්වේ

ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් සම්පාදිත, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉදිරි ගමන් මඟ පිළිබඳ යෝජිත උපායමාර්ගික සැලැස්ම (Proposal for Sri Lanka Navy’s Strategy 2030 & Beyond, NAVSTRAT – 2030) සහ ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ සමුද්‍රීය ගුවන් මෙහෙයුම් පිලිබඳ යෝජිත උපායමාර්ගික සැලැස්ම (Joint maritime air operations in Sri lanka - JMAOS) නාවික හමුදාධීපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත ප්‍රධානය කිරීම සහ නාවික හමුදා වෙබ් අඩවියට ඇතුලත් කිරීම අද (2024 දෙසැම්බර් 30) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

ශ්‍රී ලංකාව ඉදිරියේදී සංවර්ධිත රටක් බවට පරිවර්ථනය වීමට සමඟාමීව, ආරක්ෂිත සහ සමෘද්ධිමත් සමුද්‍රීය අනාගතයක් කරා පැහැදිලි දැක්මකින් සහ පුළුල් උපාය මාර්ග සැලැස්මකින් මෙහෙයවනු ලබන පරිවර්තනීය ගමනක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ සූදානම සහ, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉදිරි ගමන් මඟ සකස් විය යුතු ආකාරය පිළිබඳ 2030 දක්වා වූ උපායමාර්ගික සැලැස්මක් සකස් කිරීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින්, සම්පාදක මණ්ඩලයක් පත් කෙරිණි. එම සම්පාදක මණ්ඩලය විසින් වර්තමාන උපායමාර්ගික පරිසරය සහ දේශීය හා ගෝලීය යථාර්ථයන් හමුවේ ජාතික සමුද්‍රීය අභිප්‍රායන් ළඟා කර ගැනීම පිළිබඳ පුළුල් ලෙස විශ්ලේෂණය කරමින්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ඉදිරි උපායමාර්ගික ගමන් මඟ සකස් විය යුතු ආකාරය පිළිබදව “Proposal for Sri Lanka Navy’s Strategy 2030 & Beyond” මඟින් විද්‍යානුකූල පදනමකින් යුතුව කරුණු ඉදිරිපත් කරමින්, මෙම යෝජිත උපාය මාර්ගික සැලැස්ම සම්පාදනය කිරීම සිදු කෙරිණි.

එමෙන්ම, “ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ සමුද්‍රීය ගුවන් මෙහෙයුම්” පිලිබඳ ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහා උපාය මාර්ගික සැලැස්මක් සකස් කිරීම වෙනුවෙන් නාවික හමුදාධිපති විසින් අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් ගේ ප්‍රධානාත්වයෙන් යුත් සම්පාදක මණ්ඩලයක් පත් කෙරුණු අතර, එම සම්පාදක මණ්ඩලය විසින්, නාවික හමුදාවේ සම්පත්, හැකියාවන් සහ තාක්‍ෂණය යොදවමින් ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය කාලාපයේ මෙහෙයුම් සිදු කිරිමේදී, ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා එක්ව ඒකාබද්ධ මෙහෙයුම් සිදු කිරීම සඳහා අවශ්‍ය සම්පත් පිරිස් බලය හා තාක්‍ෂණය පිළිබඳ පුළුල් විශ්ලේශනයක් සම්පාදක මණ්ඩලය විසින් සිදුකර, මෙම ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ සමුද්‍රීය ගුවන් මෙහෙයුම් පිලිබඳ යෝජිත උපායමාර්ගික සැලැස්ම (Joint maritime air operations in Sri lanka - JMAOS) සම්පාදනය කෙරිණි. ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය වපසරිය තුල ඒකාබද්ධ සමුද්‍රීය ගුවන් මෙහෙයුම් සිදුකිරීමේදී, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර සහයෝගීතාවය ඇති කිරීමත්, සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම්, මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම් සහ සෙවීමේ හා මුදාගැනීමේ මෙහෙයුම් නාවික හමුදා ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාවන්ගේ සිට මෙහෙයවනු ලබන නියමුවන් රහිත සමුද්‍රීය ආවේක්ෂණ යානා සහ පද්ධති, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සමුද්‍රීය ආවේක්ෂණ ගුවන් යානා හා පද්ධති සමඟ ඒකාබද්ධව වඩාත් කාර්යක්ෂමව සිදුකිරීම පිළිබද මෙම ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ සමුද්‍රීය ගුවන් මෙහෙයුම් පිලිබඳ යෝජිත උපායමාර්ගික සැලැස්මෙහි විශ්ලේෂණය කර ඇත.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉදිරි ගමන් මඟ පිළිබඳ යෝජිත උපායමාර්ගික සැලැස්ම (NAVSTRAT – 2030) එහි සම්පාදක මණ්ඩලයේ, අධ්‍යක්‍ෂ නාවික මැරීන් ඉංජිනේරු, රියර් අද්මිරාල් හසන්ත දසනායක විසින් සහ ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ සමුද්‍රීය ගුවන් මෙහෙයුම් පිලිබඳ යෝජිත උපායමාර්ගික සැලැස්ම (Joint maritime air operations in Sri lanka - JMAOS) එහි සම්පාදක මණ්ඩලයේ ප්‍රධානී නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ විසින් නාවික හමුදාධිපති වෙත පිරිනැමිමෙන් අනතුරුව, නාවික හමුදාධිපති විසින් එහි විද්‍යුත් එලි දැක්වීම නාවික හමුදා නිල වෙබ් අඩවිය තුල විවෘත්ත කිරීම සිදු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි රියර් අද්මිරාල් කාංචන බානගොඩ, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, නාවික හමුදා කළමණාකරන මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, NAVSTRAT – 2030 සහ JMAOS සම්පාදක මණ්ඩල සාමාජිකයින් සහභාගි වී සිටියහ.