නාවික හමුදා පුද්ගලයන්ගේ සුභසාධනය වෙනුවෙන් ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණයේ පුළුල් කළ පහසුකම් විවෘත කෙරේ

නාවික හමුදා පුද්ගලයින්ගේ හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින්ගේ සුභසාධනය වෙනුවෙන් ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණ පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ හා නවීකරණය කළ පහසුකම්, 2024 දෙසැම්බර් මස 29 වැනි දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, මාලා ළමාහේවා මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

නාවික හමුදාධිපති ගේ සංකල්පයක් මත, නාවික හමුදා පුද්ගලයින්ගේ විවාහක නිවාස ගැටලුවට විසඳුමක් ලෙස, ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණ පරිශ්‍රයේ පැරණි මැහුම් මධ්‍යස්ථානය පැවති ගොඩනැගිල්ල නාවිකයින්ගේ විවාහක නිවාසයක් ලෙස නවීකරණය කිරීම, සේවා වනිතා ඒකකයේ මූල්‍ය දායකත්වය මත සහ නාවික හමුදා සිවිල් ඉංජිනේරු හා ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් ආරම්භ කෙරුණි. ඒ අනුව, වැඩ අවසන් කෙරුණු මෙම කණිෂ්ඨ නාවික විවාහක නිවාස පරිශ්‍රය Flick Quarters ලෙස නම්කර, එහි විවාහක නිවාස හතරක් (04) විවෘත කිරීම, නාවික හමුදාධිපති හා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපති තුමියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

එමෙන්ම, නාවික හමුදා සිවිල් ඉංජිනේරු හා ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණ පරිශ්‍රය තුල නවීකරණය කරන ලද පෙපර් පොට් ජැටිය, අභිනවයෙන් ඉදිකරන ලද විශේෂ යාත්‍රා බළඝණයේ නිලධාරී නිවාසය සහ නාවික හා සාගරික විද්‍යාපිඨයේ පුහුණු ‍වන නාවිකයින් සඳහා ඉදිකළ ගොඩනැගිල්ල විවෘත කිරීම ද නාවික හමුදාධිපති ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු අතර, එම ඉදිකිරීම් කඩිනමින් සම්පූර්ණ කිරීම සඳහා දායකත්වය දැක්වූ සියළුම නාවික හමුදා පුද්ගලයින් ඇගයීමද එහිදී නාවික හමුදාධිපති විසින් සිදුකෙරිණි.

තවද, එම අවස්ථාව සඳහා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධාන ආඥාපති, රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, ධජ නිලධාරී නාවික දියත් විධානය, රියර් අද්මිරාල් සංජීව පෙරේරා ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ නැගෙනහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් හා නාවිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.