ශ්‍රි ලංකා නාවික හමුදාව සහ ඉන්දිය නාවික හමුදාව අතර 12 වන වරට පැවැත්වූ මාණ්ඩලික සාකච්ඡාව නවදිල්ලියේදී සාර්ථකව අවසන් වෙයි

ශ්‍රි ලංකා නාවික හමුදාව සහ ඉන්දිය නාවික හමුදාව අතර දො‍ළොස් (12) වන වරට පැවැත්වූ මාණ්ඩලික සාකච්ඡා වාරය (12th Navy to Navy Staff Talks – Indain Navy and Sri Lanka Navy) 2024 දෙසැම්බර් මස 18 සිට දින තුනක් (03) ඉන්දියාවේ නවදිල්ලි නුවරදී සාර්ථකව පැවැත්වූණු අතර, එම සාකච්ඡාව 2024 දෙසැම්බර් මස 20 වැනි දින සාර්ථකව නිමාවට පත්විය.

මෙම සාකච්ඡා වාරය සඳහා ශ්‍රි ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවික හමුදා පාර්ශ්වය සහභාගී වූ අතර, ඉන්දීය නාවික හමුදාවේ රියර් අද්මිරාල් Nirbhay Bapna ගේ ප්‍රධානත්වයෙන් ඉන්දීය නාවික හමුදා පාර්ශ්වය සහභාගී විය.

ඒ අනුව, මෙවර දොළොස් (12) වන මාණ්ඩලික සාකච්ඡා වාරය ආරම්භ කරමින්, පසුගිය වසරේ (2023) පැවති දහ වන (10) මාණ්ඩලික සාකච්ඡා වාරයේ ප්‍රගතිය පිළිබඳ දෙපාර්ශ්වය අතර ප්‍රථමයෙන් අදහස් හුවමාරු කරගැනීම සිදුකෙරිණි. අනතුරුව, ඉන්දියානු සාගර කලාපීය සමුද්‍රීය ආරක්‍ෂාව වර්ධනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර සිදු කෙරෙණ ඒකාබද්ධ සහ බහුපාර්ශ්වික නාවික අභ්‍යාස තුළින්; දෙරටේ නාවික හමුදා අතර සහයෝගීත්වය සහ අන්තර් ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීම මෙන්ම, පුහුණු හුවමාරුව, තාක්‍ෂණික දැනුම හා තොරතුරු හුවමාරු වැඩසටහන් සිදුකිරීම ඇතුළු පුළුල් ක්‍ෂේත්‍රයක විෂයයන් සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගැනීම සිදුකෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා ඉන්දියාවේ නවදිල්ලි හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක (Minister Counsellor) කොමදෝරු ඉන්දික ද සිල්වා, කපිතාන් (ඉංජිනේරු) දිනුක් බෝගහවත්ත සහ කොමාණ්ඩර් (මාලිමා) අසන්ත වටගොඩ යන නිලධාරීන් ශ්‍රී ලංකා නාවික හමුදා පාර්ශ්වය නියෝජනය කරමින් සහභාගී වූහ.