නාවික හමුදා නත්තල් කැරොල් ගී ප්‍රසංගය Wave N’ Lake උත්සව ශාලාවේදී උත්කර්ශවත් අයුරින් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ මූලිකත්වයෙන්, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සහයෝගයෙන් සහ නාවික හමුදා සංගීත අංශය සහ එක්ව සංවිධානය කරන ලද නාවික හමුදා නත්තල් කැරොල් ගී ප්‍රසංගය - 2024, ‘Decked in Navy Blue and Red, Merry Christmas from the Seas to the Shore’ යන තේමාව පෙරදැරිව 2024 දෙසැම්බර් මස 21 වන දින වැලිසර නාවික පරිශ්‍රයේ Wave N’ Lake නාවික හමුදා උත්සව ශාලාවේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ලාමාහේවා මැතිණිය ඇතුළු සම්භාවනීය ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

සෑම වර්ෂයකම දෙසැම්බර් මාසයේදී අසිරිමත් නත්තල් උදාව වෙනුවෙන් නාවික හමුදා කැරොල් ගී ප්‍රසංගය වාර්ෂිකව සම්ප්‍රදායක් ලෙස පවත්වනු ලබන අතර, මෙවර කැරොල් ගී ප්‍රසංගය වෙනුවෙන් Wave N’ Lake පරිශ්‍රය අලංකාරවත් විදුලි බුබුළු සහ නත්තල් සැරසිලි මඟින් විචිත්‍රවත්විය.

ඒ අනුව, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් කාංචන බානගොඩ සහ නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ සභාපති වශයෙන් කටයුතු කරන නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු විසින් මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණි නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ලමාහේවා මැතිණිය උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව, නාවික හමුදා නත්තල් කැරොල් ගී ප්‍රසංගය ආරම්භ කෙරිණි.

නාවික හමුදාධිපතිගේ මඟපෙන්වීම යටතේ අසිරිමත් නත්තල් උළෙලට සමගාමීව සංවිධානය කරන ලද මෙම කැරොල් ගී ප්‍රසංගයේදී, නාවික හමුදා පුද්ගලයින්, සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් සහ නාවික හමුදා පවුල්වල දූ දරුවන් විසින් කැරොල් ගීත ගායනා ඉදිරිපත් කරන ලද අතර, නාවික හමුදා වාද්‍ය වෘන්දයේ සහ නර්ථන කණ්ඩායමේ විචිත්‍රවත් ගායන හා නර්තන අංගයන් ගෙන් මෙන්ම, කඳාන De Mazenod විද්‍යාලය, කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය සහ බෝලවලාන ආවේ මරියා කොන්වන්ට් යන විද්‍යාලයන්ගේ සිසු සිසුවියන් විසින් ඉදිරිපත් කළ කැරොල් ගී ගායනාවන් ගෙන්ද නාවික හමුදා නත්තල් කැරොල් ගී ප්‍රසංගය වර්ණවත් විය.

අසිරිමත් නත්තල් උදාව වෙනුවෙන් සංවිධානය කෙරුණු මෙම කැරොල් ගී ප්‍රසංගය සඳහා විශ්‍රාමික නාවික හමුදාධිපතිවරුන් ඇතුළු විශ්‍රාමික නාවික හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන්, බටහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ ඇතුළු විධාන ආඥාපතිවරුන්, ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපති රියර් අද්මිරාල් ධම්මික කුමාර, නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ උප සභාපතිවරුන් වශයෙන් කටයුතු කරනු ලබන, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරා, අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු, රියර් අද්මිරාල් ප්‍රශාන්ත ඇන්තනී ඇතුළු නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, ධජ නිලධාරීන්, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකාවන්, ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් හා නාවිකයින් සහ නාවික හමුදා පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.