උතුරු විධාන නාවික රෝහලේදී ලේ දන්දීමේ වැඩසටහනක්

නාවික හමුදාවේ අභිමානවත් 74 වැනි සංවත්සරය සහ ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ 30 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් 2024 ‍දෙසැම්බර් මස 18 වැනි දින උතුරු විධාන නාවික රෝහල් පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙ‍රිණි.

ආගමික හා සමාජ සත්කාරක වැඩසටහන් සඳහා මුල්තැන දෙමින් 2024 දෙසැම්බර් මස 09 වැනි දින අභිමානවත්ව සැමරීමට යෙදුනු ශ්‍රී ලංකා නාවික හමුදාවේ 74 වන සංවත්සරයට සහ 2025 ජනවාරි මස 01 වැනි දිනට යෙදෙන ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ 30 වැනි සංවත්සරයට සමගාමීව, යාපනය ශික්‍ෂණ රෝහලේ සහ තෙලිප්පලේ මූලික රෝහලේ රුධිර පාරවිලයන මධ්‍යස්ථානයන්හි කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් මෙම ලේ දන්දීමේ වැඩසටහන උතුරු නාවික විධානය විසින් සංවිධානය කෙරිණි.

ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් තුෂාර කරුණාතුංග ගේ සහ වැඩ බලන විධාන වෛද්‍ය නිලධාරී (උතුර) වෛද්‍ය ලුතිනන් කොමාණ්ඩර් විශ්ම රණසිංහ ගේ අධීක්‍ෂණයෙන් සංවිධානය කෙරුණු මෙම උතුම් සමාජ සත්කාර්යය සාර්ථක කර ගැනීම සඳහා උතුරු නාවික විධානයට අයත් නෞකා, යාත්‍රා සහ ආයතනයන්ට අනුයුක්ත නාවික හමුදා පුද්ගලයින් දෙසිය හතලිස් අට දෙනෙකු (248) විසින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සිය දායකත්වය ලබාදීම සිදු කෙරිණි.