නාවික හමුදාධිපති උතුරු මැද නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින් එම විධානයේ පුළුල් කළ මෙහෙයුම් හා සුභසාදන පහසුකම් විවෘත කෙරේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා 2024 දෙසැම්බර් මස 15 වැනි දින උතුරු මැද නාවික විධානයේ නිල සංචාරයක නිරතවී, එම විධානයේ මෙහෙයුම් හා සුභසාදන පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයේ, තාවුල්පාඩු නාවික අනුඛණ්ඩයේ අභිනවයෙන් ස්ථාපනය කළ වෙරළබඩ මුර යාත්‍රා අළුත්වැඩියා අංගනය, නාවික අනුඛණ්ඩ ඔලුතුඩායි හි පරිපාලන ගොඩනැගිල්ල හා පොදු භෝජනාගාර පහසුකම් සහිත දෙමහල් කණිෂ්ඨ නාවික නිවාස සංකීර්ණය සහ ශ්‍රී ලංකා නාවික නෞකා පුස්සදේව ආයතනයේ අභිනවයෙන් ඉදිකළ කණිෂ්ඨ නාවික විවාහක නිවාස විවෘත්ත කිරීම සිදුකෙරිණි.

නාවික හමුදාධිපතිගේ උපදෙස් හා මඟපෙන්වීම මත, උතුරු මැද නාවික විධානයේ ආඥාපති ගේ අධීක්ෂණය යටතේ, නාවික හමුදා ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් තාවුල්පාඩු නාවික අනුඛණ්ඩයේ ස්ථාපනය කරන ලද මෙම වෙරළබඩ යාත්‍රා අළුත්වැඩියා අංගනයේ මෙහෙයුම් කඩිනමින් ආරම්භ කිරීමට හැකිවීම මඟින්, මන්නාරම මුහුදු ප්‍රදේශය ඔස්සේ සිදුකෙරන නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම වෙනුවෙන්, එම විධානයේ වෙරළබඩ මුර යාත්‍රා මඟින් සිදුකරනු ලබන මෙහෙයුම් වඩාත් කාර්යක්ෂමව සිදුකිරීමට හැකියාව ලැබෙනු ඇත.

මන්නාරම දූපතේ සනිවිලේජ් ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය, නාවික හමුදාව විසින් එම ප්‍රදේශය ආශ්‍රිතව සිදුකරනු ලබන ආරක්ෂක මෙහෙයුම් සඳහා උපායමාර්ගික වශයෙන් වැදගත් ප්‍රදේශයක් වන ඔලුතුඩායි ප්‍රදේශයට රැගෙනයාමේ ව්‍යාපෘතිය යටතේ, ඔලුතුඩායි නාවික අනුඛණ්ඩයෙහි මෙහෙයුම් හා යටිතල පහසුකම් පුළුල් කිරීම, විධාන සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් 2017 වර්ෂයේ ආරම්භ කෙරිණි. ඒ අනුව, එම අනුඛණ්ඩයෙහි ඉදිකිරීම් අවසන් කරන ලද පරිපාලන ගොඩනැගිල්ල සහ පොදු භෝජනාගාර පහසුකම් සහිත දෙමහල් කණිෂ්ඨ නාවික නිවාස සංකීර්ණය මෙලෙස නාවික හමුදාධිපති ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

ඉන් අනතුරුව, නාවික හමුදාධිපති විසින් උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා, තම්මැන්නා, බුවනෙක සහ ඵුස්සදේව ආයතනයන්හි නාවික හමුදා පුද්ගලයින් ඇමතීම ඔලුතුඩායි නාවික අනුඛණ්ඩයේදී සිදුකෙරිණි. එහිදී, ඉදිකිරීම් කටයුතු සඳහා දායකත්වය දැක්වූ සියළුම නාවික පුද්ගලයින් ඇගයීමද නාවික හමුදාධිපති විසින් සිදු කෙරිණි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, නාවික හමුදාවේ ඉදිරි අභිප්‍රායන්, කාලීන ආර්ථික අභියෝග කළමනාකරණය, සාගරය ඔස්සේ සිදු කෙරෙන ජාවාරම් අවම කිරීම හා සාගරය ඔස්සේ සිදුවන ආර්ථික කටයුතු සුරක්‍ෂිතව සිදුකිරීමේ ජාතික අභිලාෂය සාක්‍ෂාත් කරගැනීම වෙනුවෙන් ස්ථායී සාගර කලාපයක් නිර්මාණය කිරීමේ වගකීම ඉටු කිරීම සඳහා නාවික හමුදා පුද්ගලයින්ගේ කැපවීම නාවික හමුදාව අපේක්ෂා කරන බවත්, නාවික පුද්ගලයින්ගේ රාජකාරිමය ගැටළු, සුභසාධන කටයුතු සම්බන්ධයෙන් සහ නාවික හමුදාවේ ගෞරවය රැකෙන අයුරින් පැවරී ඇති රාජකාරි කටයුතු සිදුකරන ලෙසත් එහිදී නාවික හමුදාධිපති විසින් අවධාරණය කෙරිණි.

නාවික හමුදා පුද්ගලයින් ඇමතීමෙන් පසුව ඔලුතුඩායි නාවික අනුඛණ්ඩයේදී නාවික හමුදා ජංගම ආවේක්ෂණ ඒකකය (Mobile Surveillance Unit) නිරීක්‍ෂණය කළ නාවික හමුදාධිපති, නාවික හමුදා පුද්ගලයින්ගේ හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධන පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන්, ශ්‍රී ලංකා නාවික නෞකා පුස්සදේව ආයතනයේ අභිනවයෙන් ඉදිකළ කණිෂ්ඨ නාවික විවාහක නිවාස 02 ක් විවෘත කිරීමද නාවික හමුදා හමුදාධිපති විසින් සිදුකෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ලමාහේවා මැතිණිය, අධ්‍යක්‍ෂ ජෙනරාල් සැපයුම් රියර් අද්මිරාල් රුවන් කළුබෝවිල, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරා, උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජගත් කුමාර, විධාන නියෝජ්‍ය ආඥාපති කොමදෝරු මංගල මුම්මුල්ලගේ, නාවික හමුදා මූලස්ථානයේ සහ උතුරු මැද නාවික නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් සහභාගී වී සිටියහ