යාපනය ඩෙල්ෆ්ට් මහා විද්‍යාලයේ සිසුන් වෙනුවෙන් නාවික හමුදාව විසින් කොළඹ ප්‍රදේශයේ වැදගත් ස්ථාන නැරඹීමේ සංචාරයක් සහ ඩ්‍රැගන් බෝට්ටු පුහුණු සැසියක් සංවිධානය කරයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟපෙන්වීම මත, 08 වැනි කැනෝ ස්ප්‍රින්ට් ජාතික ශූරතාවලියේ පාසැල් අංශයේ ඩ්‍රැගන් බෝට්ටු තරඟාවලියේ ජයග්‍රහණ හිමිකර ගත් ඩේල්ෆ්ට් මහා විද්‍යාලයේ සිසු සිසුවියන් 30 දෙනෙකු වෙනුවෙන්, 2024 දෙසැම්බර් මස 13 සහ 14 දෙදින කොළඹ ප්‍රදේශයේ වැදගත් ස්ථාන නැරඹීමේ සංචාරයක් සහ ඩ්‍රැගන් බෝට්ටු පුහුණු සැසියක් පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු සංවිධානය කෙරිණි.

ඒ අනුව, මෙම සංචාරයේදී යාපනය ඩෙල්ෆ්ට් මහා විද්‍යාලයේ සිසු සිසුවියන් වැලිසර පිහිටි ලංකා මිල්ක් ෆුඩ්ස් ආයතනය, කොළඹ වරාය හා කොළඹ ජාතික කෞතුකාගාරය, දෙහිවල සත්වෝද්‍යානය, නෙළුම් කුළුණ සහ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථාන නැරඹීම සිදුකෙරිණි.

එමෙන්ම, බත්තරමුල්ල, දියවන්නා ජල ක්‍රීඩා මධ්‍යස්ථානයේ නාවික හමුදාව මඟින් සංවිධානය කරන ලද ඩ්‍රැගන් බෝට්ටු පුහුණු සැසියක් සඳහා සහභාගීවීමෙන් අනතුරුව, මෙම විශේෂ සංචාරය සහ පුහුණු සැසිය සාර්ථකව නිමාවට පත්විය.

මෙම සංචාරයට සමඟාමීව එම දරු දැරියන් වෙනුවෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් වැලිසර, Wave N’ Lake නාවික හමුදා උත්සව ශාලාවේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ සහ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ලමාහේවා මැතිණියගේ ප්‍රධානත්වයෙන් පැවති එම භෝජන සංග්‍රහය සඳහා හිටපු නාවික හමුදාධිපතිවරුන් වන අද්මිරාල් ජයනාත් කොළඹගේ (විශ්‍රාමික), අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න (විශ්‍රාමික), අද්මිරාල් පියල් ද සිල්වා (විශ්‍රාමික) සහ බටහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

තවද, සේවා වනිතා ඒකකය මඟින් එම පාසැල් සිසු දරු දැරියන් වෙත ත්‍යාග ප්‍රධානයක් ද එහිදී සිදු කෙරිණි.