ඕස්ට්‍රේලියානු ස්වෛරී දේශසීමා මෙහෙයුම් පිළිබඳ ඒකාබද්ධ කාර්ය සාධක බලකායේ අණදෙන නිලධාරී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවේ, ස්වෛරී දේශසීමා මෙහෙයුම් පිළිබඳ ඒකාබද්ධ කාර්ය සාධක බලකායේ අණදෙන නිලධාරී (Commander Joint Agency Task Force Operation Sovereign Borders) Rear Admiral Brett R. Sonter, RAN ඇතුළු ඕස්ට්‍රේලියානු දේශසීමා බලකායේ නියෝජිතයන් පිරිසක් අද (2024 දෙසැම්බර් 13) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

මෙම නිල හමුවේදී, මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස සිදුකෙරෙන සංක්‍රමණ මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඕස්ට්‍රේලියානු දේශ සීමා බලකාය විසින් සිදුකරනු ලබන ඒකාබද්ධ මෙහෙයුම් හා සමුද්‍රීය ආවේක්‍ෂණ කටයුතු ඇතුළු ද්වීපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ අදහස් හුවමාරු කරගැනීමක් සිදුකෙරුණු අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් Amanda Johnston, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් කාංචන බානගොඩ, අධ්‍යක්‍ෂ ජෙනරාල් ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, රියර් අද්මිරාල් රාජප්‍රිය සේරසිංහ, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.