74 වන නාවික හමුදා සංවත්සරය නිමිත්තෙන් කොළඹ නාවික මහ රෝහලේදී ලේ දන්දීමේ වැඩසටහනක්

නාවික හමුදාවේ අභිමානවත් 74 වන සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් 2024 ‍දෙසැම්බර් මස 12 වැනි දින කොළඹ නාවික මහ රෝහල් පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙ‍රිණි.

ආගමික හා සමාජ සත්කාරක වැඩසටහන් සඳහා මුල්තැන දෙමින් 2024 දෙසැම්බර් මස 09 වැනි දින අභිමානවත්ව සැමරීමට යෙදුනු ශ්‍රී ලංකා නාවික හමුදාවේ 74 වන සංවත්සරයට සමගාමීව, රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලේ ප්‍රාදේශිය රුධිර මධ්‍යස්ථානය වෙත අවශ්‍ය රුධිරය ලබාදීමේ අරමුණින් මෙම ලේ දන්දීමේ වැඩසටහන බටහිර නාවික විධානය විසින් සංවිධානය කෙරිණි.

ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත, බටහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ ගේ අධීක්‍ෂණයෙන් සංවිධානය කළ ‍මෙම ලේ දන්දීමේ සමාජ සත්කාරක වැඩසටහන, කොමදෝරු ‍සෞඛ්‍ය අධිකාරී (බටහිර) වෛද්‍ය කොමදෝරු ධර්මප්‍රිය චන්ද්‍රගුප්ත ගේ අධීක්‍ෂණයෙන් මෙලෙස නාවික මහ රෝහල් පරිශ්‍රයේ දී පැවැත්විණි.

තවද, මෙම උතුම් සමාජ සත්කාර්යය සාර්ථක කර ගැනීම සඳහා බටහිර නාවික විධානයට අයත් නෞකා, යාත්‍රා සහ ආයතනයන්ට අනුයුක්ත නාවික හමුදා පුද්ගලයින් එකසිය පනස් නවදෙනෙකු (159) විසින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සිය දායකත්වය ලබාදීම සිදු කෙරිණි.