නාවික හමුදා නිලධාරීන් 21 දෙනෙකු ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ 18 වන මාණ්ඩලික පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කරයි

සපුගස්කන්ද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව සම්පූර්ණ කල දහඅට වන (18) පාඨමාලාවට අයත් නිලධාරීන් වෙත සහතික හා කුසලාන ප්‍රදානය කිරීම ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේදී 2024 දෙසැම්බර් මස 12 වන දින පැවැත්වුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා නියෝජනය කරමින්, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් කාංචන බානගොඩ සහභාගී විය.

2024 වර්ෂයේ ජනවාරි මස 05 වන දින ආරම්භ වූ දහඅට වන (18) ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික පාඨමාලාව සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් 78 ක්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් 21 ක්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් 26 ක් සහ බංගලාදේශය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියා, මාලදිවයින, නේපාලය, පාකිස්ථානය, රුවන්ඩාව, සවුදි අරාබිය, සෙනගල්, ඇමෙරිකා එක්සත් ජනපදය සහ සැම්බියා යන විදෙස් රාජ්‍යන් නියෝජනය කරමින් යුද හමුදා නිලධාරීන් 19 ක්, නාවික හමුදා නිලධාරින් 03 ක් සහ ගුවන් හමුදා නිලධාරින් 03 ක් ඇතුළුව නිලධාරින් 150 දෙනෙකු අණ හා මාණ්ඩලික පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කිරීමට සමත් විය.

ඒ අනුව, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ 18 වන මාණ්ඩලික පාඨමාලාව සම්පූර්ණ කර මාණ්ඩලික සුදුසුකම් ලබා ගත් (Passed Staff College - psc) නාවික හමුදා නිලධාරීන් 21 දෙනෙකු සහතික පත් ලබාගත් අතර, පාඨමාලාවේ හොඳම පර්යේෂණ වාර්ථාව සඳහා වන Golden Pen සම්මානය, කොමාණ්ඩර් (ඉංජිනේරු) ප්‍රසාද් චාමර වෙත සහ නාවික හමුදා නිලධාරීන් අතරින් සුවිශේෂී කුසලතා දැක්වූ නිලධාරියාට හිමි Golden Owl සම්මානය හා සේනාවිධායක ගෞරව සම්මානය කොමාණ්ඩර් (මාලිමා) දනංජය රොද්‍රිගෝ වෙත පිරිනැමීම එහිදී ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය තුමා විසින් සිදු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ආඥාපති මේජර් ජෙනරාල්, ඩීකේඑස්කේ දොලගේ, ‍ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් ධම්මික කුමාර, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ අධ්‍යන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය, 18 වන මාණ්ඩලික පාඨමාලාවට අයත් නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.