74 වැනි නාවික හමුදා දිනය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා අනුරාධපුර සඳහිරු සෑයේ ආලෝක පූජාවක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 74 වැනි සංවත්සරය නිමිත්තෙන් අනුරාධපුර සඳහිරු සෑ රදුන් ආලෝකමත් කිරීමේ ආලෝක පූජාවක්, 2024 දෙසැම්බර් මස 09 වැනි දින උතුරු මැද නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු මංගල මුම්මුල්ලගේ ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

ශ්‍රී ලංකා නාවික හමුදාව වසර 74 ක් පුරා පැමිණි දීර්ඝ ගමන් මගෙහිදී මව්බිමේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කල හා රණක්‍ෂිතයට පත් වීරෝධාර නාවික හමුදා රණවිරුවන් වෙත මෙන්ම, දැනට සේවයේ නියුතු සහ විශ්‍රාමික සියලුම නාවික හමුදා පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙත සෙත්පතා, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟපෙන්වීම මත නාවික හමුදාව විසින් මෙම සර්ව ආගමික වැඩසටහන් මාලාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරිණි.

ඒ අනුව, එම ආගමික වැඩසටහන් මාලාව යටතේ, අනුරාධපුර සඳහිරු සෑය ආලෝකමත් කිරීමේ ආලෝක පූජාව, බෞද්ධාගමික වත්පිළිවෙත් අනුගමනය කරමින් මෙලෙස 2024 දෙසැම්බර් මස 09 වැනි දින සන්ධ්‍යාවේ සිදුකෙරිණි. එහිදී, ගරුතර මහා සංඝරත්නය විසින් මව්බිමේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ වීරෝධාර නාවික හමුදා විරුවන් අනුස්මරණය කරමින් සහ වත්මන් නාවික හමුදාධිපති ඇතුළු සේවයේ යෙදී සිටින සියළුම නාවික හමුදා පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්, විශ්‍රාමික නාවික හමුදා පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙත මෙන්ම, සමස්ත නාවික හමුදාවට 74 වැනි සංවත්සරය වෙනුවෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කෙරිණි.