ශ්‍රී ලංකා නාවික හමුදාව 74 වැනි සංවත්සරය අභිමානවත්ව සමරයි

ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 74 වැනි සංවත්සරය ‍2024 දෙසැම්බර් මස 09 වැනි දින අභිමානවත්ව සමරනු ලබන අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදේශකත්වය හා මඟපෙන්වීම යටතේ සෑම නාවික විධානයකම නාවික සම්ප්‍රදායන් සහ ආගමික කටයුතු සඳහා මුල්තැනක් දෙමින් 74 වැනි සංවත්සරය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු සංවිධානය කර ඇත.

74 වැනි සංවත්සරයට සමගාමීව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ නිර්දේශය මත විවිධ තරාතිරම් වලට අයත් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් 2138 ක් 2024 දෙසැම්බර් මස 09 වැනි දින ඊළඟ තරාතිරමට උසස් කිරීමට කටයුතු කෙරිණි. ඒ අනුව, සාමාන්‍ය නැවි තරාතිරම දක්වා නාවිකයන් 158 ක්ද, බල නැවි තරාතිරම දක්වා නාවිකයින් 279 ක්ද, නායක නැවි තරාතිරම දක්වා නාවිකයින් 406 ක්ද, සුළු නිලධාරී තරාතිරම දක්වා නාවිකයින් 391 ක්ද, ප්‍රධාන සුළු නිලධාරි තරාතිරම දක්වා නාවිකයින් 539 ක්ද, සමූහ ප්‍රධාන සුළු නිලධාරී දක්වා නාවිකයින් 354 ක් සහ පාලක ප්‍රධාන සුළු නිලධාරී දක්වා නාවිකයින් 11 ක්ද වශයෙන් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් 2138 ක් ඊළඟ තරාතිරම දක්වා උසස් කිරීම සිදුකෙරිණි.

2024 දෙසැම්බර් මස 09 වැනි දින අභිමානවත් 74 වැනි සංවත්සරය සමරන ශ්‍රී ලංකා නාවික හමුදාව දිර්ඝ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන අතර, මෙරට නාවික හමුදාවක ආරම්භය 1937 අංක 01 දරණ ස්වේච්ඡා නාවික හමුදා ආරක්‍ෂක ආඥා පනත යටතේ, රාජකීය ලංකා ස්වේච්ඡා නාවික හමුදාව 1939 වර්ෂයේදී ස්ථාපිත කිරීම මඟින් සිදුවී ඇත. 1950 අංක 34 දරණ නාවික හමුදා පනත මඟින්, එවකට රාජකීය ලංකා ස්වේච්ඡා නාවික උපසේවයේ සක්‍රීය සේවයේ නියුතුව සිටි නිලධාරීන් ගෙන් සහ නාවිකයන් ගෙන් සමන්විතව, 1950 දෙසැම්බර් මස 09 වැනි දින 'රාජකීය ලංකා නාවික හමුදාව' ස්ථාපිත කිරීම මඟින්, මෙරට ස්ථිර නාවික හමුදාවක ආරම්භය සනිටුහන් විය. එතැන් සිට මෙරට සාගරික වපසරියේ ආරක්‍ෂකයා ලෙස විශේෂ වගකීමක් ඉටු කරමින් දිනෙන් දින වර්ධනය වූ රාජකීය ලංකා නාවික හමුදාව, 1972 වර්ෂයේ ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීමත් සමඟ, ‘ශ්‍රී ලංකා නාවික හමුදාව’ බවට පරිවර්තනය විය.

1980 දශකයේ මුල් භාගයේදී මෙරට උතුරු ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් වර්ධනය වූ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හේතුවෙන්, එතෙක් සාම්ප්‍රදායික චාරිත්‍රානුකූළ නාවික හමුදා භූමිකාවෙන් සංග්‍රාමික භුමිකාව වෙත පරිවර්තනය වූ ශ්‍රී ලංකා නාවික හමුදාව, එතැන් සිට ත්‍රස්තවාදය මෙරටින් පිටුදැකීමේ ජාතික කර්තව්‍යය වෙනුවෙන් පිරිස් බලයෙන් හා යුදමය ශක්‍යතාවයෙන් ක්‍රමිකව වර්ධනය විය. දශක තුනකට ආසන්න කාලයක් මෙරට වෙලා පැවති ත්‍රස්තවාදය 2009 වර්ෂයේදී මානුෂීය මෙහෙයුමකින් විජයග්‍රහණය කිරීම වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් දැක්වූ ශ්‍රී ලංකා නාවික හමුදාව, වර්තමානයේ මත්ද්‍රව්‍ය උවදුරෙන් රට මුදාගැනීම සඳහා මෙන්ම, සාගර කලාපයේ ආරක්‍ෂාව සඳහා බලපාන සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය අභියෝග සහ නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා, මෙන්ම, ලොව විශාලතම සමුද්‍රීය සන්ධානය ලෙස සැලකෙන ඒකාබද්ධ සමුද්‍රීය බළකාය සමඟ සන්ධාන ගතවී ජාත්‍යන්තර මුහුදේ නීතිමය භාවීතය ප්‍රචිලිත කිරීමේ සහ නිදහස් මුහුදු ගමනාගමනය තහවුරු කිරිමේ මෙහෙයුම් සඳහා දායකවේ.

එමෙන්ම, ඒකාබද්ධ සමුද්‍රීය බළකායේ 154 වැනි කාර්යය සාධක බළකාය වෙත 2025 වර්ෂයේ ජනවාරි මස සිට මාස 06 ක කාලයක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අණදීමට නියමිතව ඇත. එලෙස 154 වැනි කාර්යය සාධක බළකාය වෙත ශ්‍රී ලංකා නාවික හමුදාවට අණදීමට අවස්ථාව උදාවීම, නාවික හමුදාව වසර 74 ක් පැමිණි දිර්ඝ ගමන් මඟෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සනිටුහන් වන අතර, ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත සහ මව්බිම වෙත විශාල කීර්තියක් ගෙන දීමට ද එමඟින් නාවික හමුදාව වෙත අවස්ථාව උදාවනු ඇත.

දේශිය ජලතීරයෙන් ඔබ්බට, ඉන්දියානු සාගර කලාපය ඔස්සේ ජාත්‍යන්තර මුහුද දක්වා එලෙස මෙහෙයුම් සිදු කිරීම සඳහා අවශ්‍ය හැකියාවන්ගෙන්, තාක්‍ෂණයෙන් සහ වෘත්තීය නිපුණ පිරිස් බලයකින් නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව ඉදිරියේදී ක්‍රමිකව වෙනස් විය යුතු ආකාරය පිළිබඳ විද්‍යාණුකූල ක්‍රමවේදයකට අනුව සකස්කල උපාය මාර්ගික සැළැස්ම 2030 ක්‍රියාවට නංවා ඇති නාවික හමුදාව, සම්පත් හා පිරිස් බලය උපරිම ශක්ති ප්‍රමාණයෙන් යොදවමින් දේශයේ සමුද්‍රීය අභිලාශය සාක්‍ෂාත් කරගැනීම උදෙසා කැපවී සිටියි.

මව්බිමේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීම වෙනුවෙන් සිදුකළ අනභිබවනීය මෙහෙවර හමුවේ ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ වීරෝධාර නාවික හමුදා රණවිරුවන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 74 වැනි සංවත්සරය නිමිත්තෙන් ගෞරවයෙන් අනුස්මරණය කරමින් සහ වත්මන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ඇතුළු සේවයේ යෙදී සිටින සියළුම නාවික හමුදා පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මෙන්ම, විශ්‍රාමික නාවික හමුදා පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙත ආශිර්වාද පතා, ආගමික වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නාවික හමුදාව කටයුතු සංවිධානය කෙරිණි. ඒ යටතේ කංචුක පූජාව සහ ධජ ආශිර්වාද පුණ්‍ය මහෝත්සවය රුවන්වැලි මහා සෑ රදුන් අබියස සහ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදීත්, ක්‍රිස්තියානි දේව මෙහෙය කොටහේන, ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදීත්, ඉස්ලාම් දේව මෙහෙය කොළඹ ජූම්මා මස්ජිත් පල්ලියේදීත්, හින්දු දේව මෙහෙය කොළඹ ශ්‍රී පොන්නම්බලවානේස්වරර් හින්දු දේවස්ථානයේදීත්, සර්ව රාත්‍රික පිරිත් සඡ්ඣායනයක් සහ ගරුතර මහා සංඝ රත්නය 74 නමක් විෂයෙහි සංඝගත දක්‍ෂිණාවක් පිරිනැමීම වැලිසර නාවික සංකීර්ණයේදී සිදු කෙරිණි.

එමෙන්ම, නාවික හමුදාවේ 74 වැනි සංවත්සරය වෙනුවෙන් මහනුවර ශ්‍රී දළඳා සමිඳුන් වෙත ගිලන්පස බුද්ධ පූජාව සිදු කිරීම, දළඳා සමිඳුන් උදෙසා බුද්ධ පූජාව සහ භික්ෂූන් වහන්සේ විෂයෙහි දානමය පුන්‍යකර්මය සිදු කිරීම, සඳහිරු සෑය අභියසදී ආලෝක පූජාවක් පැවැත්වීම සහ කැළණිය රජමහා විහාරයේ ධාතු මන්දිරයේ පුජාවක් පැවැත්වීම සඳහාද කටයුතු සංවිධානය කර ඇත.

තවද, 74 වැනි නාවික හමුදා සංවත්සර දිනයට සමගාමීව නාවික හමුදාව විසින් නැගෙනහිර සහ වයඹ නාවික විධානයන් තුල සංවිධානය කෙරුණු ලේ දන්දීමේ වැඩසටහන් සඳහා නාවික හමුදා පුද්ගලයන් විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී එම මහඟු සමාජ සත්කාර්යය සාර්ථක කරගැනීම සඳහා දායක වූහ.

එමෙන්, 74 වැනි නාවික හමුදා සංවත්සර දිනයට සමගාමීව මව්බිම වෙනුවෙන් දිවි පිදු සහ ක්‍රියාන්විතයේදී අතුරුදහන්වු විරෝධාර නාවික හමුදා පුද්ගලයින්ගේ ළඟම ඥාතින් ඇතුළු පවුලේ සමිපතමයින් හමුවී සුවදුක් විම‍සීමේ වැඩසටහන මෙවරද නාවික හමුදාධිපතිගේ උපදෙස් හා මඟපෙන්වීම මත නාවික හමුදා සුභසාධක අංශය මඟින් ක්‍රියාවට නංවා ඇත. එම උතුම් සත්කාර්යය, නාවික හමුදාවේ කාර්යය භාරය වෙනුවෙන් කැපවී, මව්බිමේ උත්තරීතර නිදහස වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ වීරෝධාර නාවික රණවිරුවන් වෙත නාවික හමුදාව වෙතින් පිදෙන උපහාරයක් පමණක් නොව, එම උතුම් කැපකිරීම සඳහා තම ආදරණිය දූ පුතුන්, ස්වාමිපුරුෂයන් සහ පියවරුන් වෙත ශක්තියක් ගෙනදී සුවශේෂි කැපකිරීමක් සිදු කළ එම වීරෝධාර රණවිරුවන්ගේ ලඟම ඥාතින් සහ ආදරණිය පවුලේ සමීපතමයින් වෙත නාවික හමුදාව වෙතින් පිදෙන උපහාරයක්ද වේ.

දෘෂ්‍යමාන සතුරෙකු නොමැති වුවත්, සාගරය මතින් එල්ලවන අභියෝග ජයගැනීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු අනුර කුමාර දිසානායක මැතිතුමාගේ නිවැරදි දැක්මට අනුව, ආරක්‍ෂක අමාත්‍යංශයේ උපදෙස් හා මඟ පෙන්වීමෙන්, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ නිවැරදි නායකත්වයෙන්, නාවික හමුදාවට අනන්‍ය හමුදාමය, රාජ්‍යතාන්ත්‍රික සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ භූමිකාවන් ඉතා කාර්යක්‍ෂමව ඉටුකරමින්, දේශයේ සමුද්‍රිය අභිලාශය සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ස්ථායි සාගර කලාපයක් පෝෂණය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ඉදිරියටත් අඛණ්ඩව කැපවී සිටියි.