74 වන නාවික හමුදා සංවත්සරය නිමිත්තෙන් ලේ දන්දීමේ වැඩසටහනක් ත්‍රීකුණාමලය නාවික රෝහලේදී

නාවික හමුදාවේ අභිමානවත් 74 වන සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කල ලේ දන්දීමේ වැඩසටහනක් 2024 ‍දෙසැම්බර් මස 05 වැනි දින ත්‍රීකුණාමලය, නාවික රෝහලේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙ‍රිණි.

ආගමික හා සමාජ සත්කාරක වැඩසටහන් සඳහා මුල්තැන දෙමින් 2024 දෙසැම්බර් මස 09 වැනි දිනට යෙදී ඇති ශ්‍රී ලංකා නාවික හමුදාවේ 74 වන සංවත්සරය අභිමානවත්ව සැමරීමට නාවික හමුදාව කටයුතු සූදානම් කර ඇත.

ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ‍ඩේමියන් ප්‍රනාන්දු ගේ අධීක්‍ෂණයෙන් සංවිධානය කළ ‍මෙම ලේ දන්දීමේ සමාජ සත්කාරක වැඩසටහන, ත්‍රීකුණාමලය නාවික රෝහලේදී පැවැත්විණි.

තවද, මෙම උතුම් සමාජ සත්කාර්යය සාර්ථක කර ගැනීම සඳහා නැගෙනහිර නාවික විධානයට අයත් නාවික හමුදා පුද්ගලයින් දෙසිය අසූ හතර දෙනෙකු (284) විසින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සිය දායකත්වය ලබාදීම සිදු කෙරිණි.