නාවික හමුදාව මඟින් දන්ත සෞඛ්‍ය කඳවුරක් පවත්වයි

නාවික හමුදාවේ සමාජ සත්කාර්යයක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදා දන්ත වෛද්‍ය සේවාව, ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය සහ Good Neighbours Foundation (Guarantee) Limited ආයතනය හා එක්ව සංවිධානය කරනු ලබන දන්ත සෞඛ්‍ය කඳවුරේ දෙවන අධියර මාතර තලහිටියාගොඩ සහ දේවාලේගම ප්‍රදේශයන් හිදී ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, මාලා ළමාහේවා මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2024 දෙසැම්බර් මස 02 සහ 03 යන දෙදින සාර්ථකව පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

ඒ අනුව, මුඛ සනීපාරක්‍ෂාව සහ රෝග නිවාරණ සත්කාරයේ වැදගත්කම පිළිබඳ දැනුවත් කරමින් අඩු පහසුකම් සහිත ප්‍රජාවට උසස් තත්වයේ දන්ත වෛද්‍ය ප්‍රථිකාර ලබාදීමේ අරමුණින්, දකුණු නාවික විධානයට අයත් ප්‍රදේශ කිහිපයක් ආවරණය වන පරිදි, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික දන්ත වෛද්‍ය සේවා, වෛද්‍ය ‍කපිතාන් (දන්ත) ඉන්දිරා ධර්මප්‍රිය සහ දකුණු නාවික විධානයේ විධාන දන්ත වෛද්‍ය නිලධාරී වෛද්‍ය කොමාණ්ඩර් (දන්ත) කණිෂ්ක මුදලිගේ ‍ගේ සහභාගීත්වයෙන් මාතර තලහිටියාගොඩ පරාක්‍රම විද්‍යාලය සහ දේවාලේගම ශ්‍රී අත්ථදස්සාරාමය විහාරස්ථානයේදී මෙලෙස මුඛ සෞඛ්‍ය කඳවුරක් පැවැත්වීමට කටයුතු කෙරුණි.

තවද, මෙම දන්ත සෞඛ්‍ය කඳවුර සඳහා එම ප්‍රදේශ ආශ්‍රිත පාසැල් ළමුන් හා ස්වාමීන් වහන්සේලා ඇතුළු පුද්ගලයන් තුන්සිය දෙනෙකු (300) පමණ සහභාගී වී දන්ත වෛද්‍ය ප්‍රථිකාර ලබා ගැනීම සිදු කෙරිණි.