නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන 04 ක් ජනතා අයිතියට

ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන මත, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සහ නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් නිපදවන ලද ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු යන්ත්‍ර 31 ක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාන 31 ක ස්ථාපනය කිරීමේ විශේෂ ව්‍යාපෘතිය යටතේ, ගලෙන්බිදුනුවැව ප්‍රාදේශිය ලේකම් කෝට්ඨාසයේ ජනසිරිගම ගම්මානය, හිගුරුවැවගම ගම්මානය, 21 ජනපදයේ බටහිර තක්‍ෂිලා මහ විදුහල සහ මහගස්වැව මහ විද්‍යාලය යන ස්ථනයන්හි ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන හතරක් (04) ජනතා අයිතියට පත් කිරීම, 2024 දෙසැම්බර් මස 04 වැනි දින සිදු කෙරිණි.

ඒ අනුව, මෙම විශේෂ ව්‍යාපෘතිය යටතේ මේවන විට ජල පිරිපහදු මධ්‍යස්ථාන 07 ක් ස්ථාපනය කෙරුණු අතර, අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය, ගල්නෑව, තඹුත්තේගම, කැකිරාව, තලාව, කහටගස්දිගිලිය, නොච්චියාගම, හොරොව්පතාන සහ තිරප්පනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් තුල ස්ථාපනය කෙරෙන තවත් ජල පිරිපහදු මධ්‍යස්ථාන 24 ක් දෙසැම්බර් මස 13 වන දින වන විට ජනතා අයිතියට පත් කිරීමට නියමිතව ඇත.