නාවික හමුදාධිපති ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ 18 වන පාඨමාලාව සඳහා ආරාධිත දේශනයක් පවත්වයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ආඥාපති, මේජර් ජෙනරාල්, කපිල දොලගේ ගේ ආරාධනයකට අනුව එම විද්‍යාලයේ දහ අට වන (18) මාණ්ඩලික පාඨමාලාව සඳහා ආරාධිත දේශනයක් පැවැත්වීම, 2024 දෙසැම්බර් මස 04 වැනි දින එම විද්‍යාලීය ශ්‍රවණාගරයේදී සිදුකෙරිණි.

සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලා අංක 18 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ශිෂ්‍ය නිලධාරින් 89 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශිෂ්‍ය නිලධාරින් 25 දෙනෙකු සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශිෂ්‍ය නිලධාරින් 36 දෙනෙකු, බංගලාදේශය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මලයාසියාව, මාලදිවයින, නේපාලය, පාකිස්ථානය, රුවන්ඩාව, සෞදි අරාබිය, සෙනගාලය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ සැම්බියාව යන රාජ්‍යයන් නියෝජනය කරමින් විදෙස් ශිෂ්‍ය නිලධාරින් 25 දෙනෙකු ඇතුළුව ශිෂ්‍ය නිලධාරින් 175 දෙනෙකු අණ හා මාණ්ඩලික පාඨමාලාව හදාරනු ලබයි.

ඒ අනුව, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ආඥාපති, මේජර් ජෙනරාල්, කපිල දොලගේ විසින් නාවික හමුදාධිපති මාණ්ඩලික විද්‍යාලය වෙත පිළිගැනීමෙන් අනතුරුව, “MILITARY LEADERSHIP, CHARACTER, STRATEGIC THINKING AND ARCHITECTURE OF SRI LANKA NAVY FOR NEXT DECADE” යන කාලීන තේමාව යටතේ නාවික හමුදාධිපති විසින් දහ අට වන (18) මාණ්ඩලික පාඨමාලාවේ ශිෂ්‍ය නිලධාරීන් ඇමතීම සිදුකෙරිණි.

එහිදී අනාගත වෘත්තීය ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය නායකත්වය, චරිතය සහ උපායමාර්ගික සිතීම යන ක්‍ෂේත්‍රයන් ආවරණය වන පරිදි සහ එළඹෙන දශකය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ උපායමාර්ගික සැලැස්ම පිළිබඳව ශිෂ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සිදු කෙරිණි. එහිදී, කෘතීම බුද්ධිය තුළින් විවිධ ව්‍යාපෘති මෙහෙයවන පසුබිමක, හමුදාමය නායකත්වය සඳහා පවත්නා ප්‍රායෝගික අභියෝග සහ හමුදා නායකයෙකු ලෙස අරමුණ සාක්‍ෂාත් කර ගැනීම වෙනුවෙන් පුද්ගලයකු වෙත බලපෑම් කිරීම, වෙනස් කිරීම හා හැසිරවීම සඳහා නායකත්වය යන්න මෙවලමක් ලෙස යොදා ගැනීමත්, යහපත මෙන්ම අයහපත සඳහාද නායකත්වය බලපෑමක් සිදුකරන බවත් නාවික හමුදාධිපති විසින් පැහැදිළි කිරීම සිදු කෙරිණි. නායකත්වය, යහපත් දිශානතියට හෝ අයහපත් දිශානතියට මෙහෙයවීම සඳහා තමන් ගොඩනගාගත් චරිතය සිදුකරනු ලබන මනෝ විද්‍යාත්මක බලපෑම, ඉතිහාසයේ ප්‍රකට හමුදා නායකයින්ගේ චරිතය ඇසුරින් ශිෂ්‍ය නිලධාරීන් වෙත නාවික හමුදාධිපති විසින් පැහැදිලි කෙරිණි.

එමෙන්ම, මෙහෙයුම් පරිසරය පිළිබඳව ඇති පුළුල් පරාසයක තොරතුරු විශ්ලේෂණය කරමින්, අවස්ථාවට යෙදිය යුතු හොඳම විසඳුම යෙදීමට අවශ්‍ය උපායමාර්ගික සිතීමේ හැකියාව වැඩිදියුණු කර ගැනීම සඳහා හමුදා නායකයෙකු; උපායමාර්ගික පරිසරය අවබෝධ කර ගැනීම, දිගු අනාගතයක් පිළිබඳ ඇති දැක්ම හා ඒ සඳහා සැළසුම්, නවෝත්පාදන හා අනුවර්ථනය වීම සහ ඒකාබද්ධ මෙහෙයුම් හා බහුපාර්ශ්වික සහයෝගිතාව යන ක්‍ෂේත්‍ර පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාගත යුතු බව ශිෂ්‍ය නිලධාරීන් දැනුවත් කෙරිණි.

එහිදී, ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාර්යයභාරය පැහැදිලි කල නාවික හමුදාධිපති, ඉන්දියානු සාගරයේ ආරක්‍ෂාව සඳහා කැප වන පාර්ශව කරුවෙකු වශයෙන් දූපත් රාජ්‍යක් ලෙස ශ්‍රී ලංකාවට ඇති ජාත්‍යන්තර බැඳීම ඉටු කිරීම සඳහා, දේශීය ජල තීරයෙන් ඔබ්බට ජාත්‍යන්තර මුහුද දක්වා සාමූහිකව මෙහෙයුම් සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සියලු සමුද්‍රීය පාර්ශවයන් සමඟ සහයෝගීත්වයෙන් මෙන්ම, යහපත් අන්තර් ක්‍රියාකාරිත්වයකින් කටයුතු කරන බවත්, ඒ තුළින් සාගර කලාපය ඔස්සේ පැන නගින සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය අභියෝග සඳහා සාමූහිකව ප්‍රථිචාර දැක්වීමට නාවික හමුදාවට අවස්ථාව උදාවී ඇති බවත්, ශිෂ්‍ය නිලධාරීන් දැනුවත් කෙරිණි. ලොව විශාලතම සමුද්‍රීය සංධානය ලෙස සැලකෙන ඒකාබද්ධ සමුද්‍රීය බළකාය සමඟ ශ්‍රී ලංකා නාවික හමුදාව සංධාන ගත වෙමින්, ජාත්‍යන්තර මුහුදේ නිදහස් මුහුදු ගමනාගමනය තහවුරු කිරීමේ සහ සාගරයේ නීතිමය භාවිතය ප්‍රචලිත කිරීමේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව දායක වන පසුබිමක, සාගර කලාපයේ නව ප්‍රවණතා සහ අභියෝග සාර්ථකව කළමනාකරණය සඳහා නිවැරදි දැක්මක් හා උපායමාර්ගික සැළැස්මක් අවශ්‍ය බවත්, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව හා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව ඉදිරි දශකය සඳහා සහ ඉන් ඔබ්බට හැකියාවන්ගෙන්, තාක්‍ෂණයෙන් සහ වෘත්තීය නිපුණ පිරිස් බලයකින් යුතුව පවත්වා ගැනීම හා වෙනස් විය යුතු ආකාරය පිළිබඳව විද්‍යානුකූලව සකස් කළ උපායමාර්ගික සැලැස්ම 2023 පිළිබඳව පුළුල් විග්‍රහයක් නාවික හමුදාධිපති විසින් 18 වන මාණ්ඩලික පාඨමාලාවේ නිලධාරීන් වෙත සිදු කෙරිණි.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් 2024 දෙසැම්බර් මස 04 වැනි දින මාණ්ඩලික විද්‍යාලයේ 18 වන මාණ්ඩලික පාඨමාලාව වෙනුවෙන් සිදුකල මෙම ආරාධිත දේශනය සඳහා, සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නාවික හමුදා ප්‍රධාන උපදේශක කොමදෝරු සංජීව ප්‍රේමරත්න, යුද්ධ හමුදා ප්‍රධාන උපදේශක බ්‍රිගේඩියර් ඩබ්බීඑම්කේජීකේ වීරසේකර, ගුවන් හමුදා ප්‍රධාන උපදේශක ගුවන් කොමදෝරු ඩබ්පීඒඑච් පෙරේරා, බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ, බ්‍රිගේඩියර් කේඒ පුෂ්පකුමාර, ඇතුළු අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය සහ 18 වන මාණ්ඩලික පාඨමාලාවට අයත් ශිෂ්‍ය නිලධාරීන් සහභාගීවී සිටියහ.

තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ආඥාපති, මේජර් ජෙනරාල් කපිල දොලගේ සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අතර සමරු තිළිණ හුවමාරුවක් සිදුකිරීමෙන් අනතුරුව, නාවික හමුදාධිපති විසින් එම විද්‍යාලයේ විශේෂ ආරාධිත අමුත්තන් සඳහා වූ සමරු පොතෙහි විශේෂ සමරු සටහනක් තැබීමද සිදුකෙරිණි.