නාවික සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කය තුල ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන 31 ක් විවෘත කිරීම ආරම්භ වෙයි

ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන මත, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සහ නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් නිෂ්පාදනය කරන ලද ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු යන්ත්‍ර 31ක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාන 31 ක ස්ථාපනය කිරීමේ විශේෂ ව්‍යාපෘතිය යටතේ, ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන තුනක් (03) විවෘත කිරීම, 2024 දෙසැම්බර් මස 03 වන දින අනුරාධපුර නාච්චාදූව මුස්ලිම් මහා විද්‍යාලය, මධ්‍යම නුවර ගම්පලාත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පලුගොල්ලෑව පෙර පාසල් භූමියේ සහ මහවිලච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ රන්දූව ධීවර සමිතිශාලා භූමියේදී සිදු කෙරිණි.

ශ්‍රී ලංකා නාවික හමුදාව 2015 වර්ෂයේදී ආරම්භ කරන ලද ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය, නිදන්ගත වකුගඩු රෝගීන් බහුලව වාර්තාවන ප්‍රදේශ කෙන්ද්‍ර කර ගනිමින්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන්, නාවික හමුදාධිපතිගේ සෘජු අධික්‍ෂණය යටතේ ක්‍රියාත්මක වෙමින් පවතී.

ඒ අනුව, මෙම විශේෂ ව්‍යාපෘතිය යටතේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුනුවැව, පදවිය, ගල්නෑව, තඹුත්තේගම, කැකිරාව, තලාව, කහටගස්දිගිලිය, නොච්චියාගම, හොරොව්පතාන සහ තිරප්පනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් තුලදී ජල පිරිපහදු මධ්‍යස්ථාන 28ක් දෙසැම්බර් මස 13 වන දින වන විට ජනතා අයිතියට පත් කිරීමට නියමිතව ඇත.

නාවික හමුදාවේ මෙම සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ මේවන විට කිවුල් දිය ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු යන්ත්‍ර 988ක්, මුහුදු ජල ප්‍රති ආශ්‍රැතිකරන යන්ත්‍ර 15ක්, වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරන යන්ත්‍ර 29ක් සහ ජංගම ප්‍රති ආශ්‍රැතිකරන යන්ත්‍ර 03ක් ද, ඇතුළුව ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු යන්ත්‍ර 1035ක් මුළු දිවයිනම ආවරණය වන පරිදි ස්ථාපිත කරමින් මාරාන්තික වකුගඩු රෝගය මෙරටින් තුරන් කිරීම වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් දක්වා ඇත.