නව නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරි ලෙස පාලක ප්‍රධාන සුළු නිලධාරි පිආර්එම්ජිබි පුස්සලමංකඩ පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරි (MASTER CHIEF PETTY OFFICER OF NAVY - MCPON) ලෙස, පාලක ප්‍රධාන සුළු නිලධාරි පිආර්එම්ජිබි පුස්සලමංකඩ යන ජ්‍යේෂ්ඨ නාවිකයා 2024 නොවැම්බර් මස 29 වන දින පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් එම තනතුරට අදාල අත් පළඳනාව සහ යෂ්ඨිය නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරි පිආර්එම්ජිබි පුස්සලමංකඩ වෙත පිරිනමා, ඔහු වෙත සුභාශිංසන පිරිනැමීම, නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

ඒ අනුව, මීට පෙර නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරි ලෙස කටයුතු කළ, පාලක ප්‍රධාන සුළු නිලධාරි ඩබ්එම්ජීඒ කුමාර යන ජ්‍යෙෂ්ඨ නාවිකයා නාවික හමුදාවෙන් විශ්‍රාම ගැනීමට නියමිත බැවින්, නව නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරි ලෙස, පාලක ප්‍රධාන සුළු නිලධාරි පිආර්එම්ජිබි පුස්සලමංකඩ යන ජ්‍යේෂ්ඨ නාවිකයා මෙලෙස පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති විසින් එහිදී විශ්‍රාම ගැනීමට නියමිත පාලක ප්‍රධාන සුළු නිලධාරි ඩබ්එම්ජීඒ කුමාර වෙතද ඔහුගේ සේවය අගයමින් සුභාසිංසන පිරිනැමීමට කටයුතු කෙරිණි.

නාවිකයන්ගේ සුභසාධන, පුහුණුවීම් සහ පරිපාලනමය කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදු කිරීම සහ ගුණාත්මක භාවය වර්ධනය කිරීම සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගැනීම සඳහා, නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරි හට නිසි මඟින් නාවික හමුදාධිපති වෙත කරුණු ඉදිරිපත් කිරීමට හැකියාව ඇති අතර, එම තනතුර සඳහා පත්වන ජ්‍යේෂ්ඨ නාවිකයා විසින් රාජකාරී උත්සව, සරඹ සහ වෙනත් එවැනි අවස්ථාවන්හීදී නාවික හමුදාව නියෝජනය කරනු ලබන ජ්‍යේෂ්ඨතම නාවිකයා ලෙස එම අවස්තාවන් සඳහා සහභාගී වීමට අවස්තාව හිමිවේ.

තවද, මෙම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල රියර් අද්මිරාල් රවින්‍ද්‍ර තිසේරා ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.