ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා ආරක්‍ෂක ආමාත්‍යවරයා ලෙස වැඩ භාරගැනීමේ අවස්ථාවට නාවික හමුදාධිපති සහභාගී වෙයි

ශ්‍රී ලංකා ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගැනීම 2024 නොවැම්බර් මස 22 වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක සේනා මූලස්ථානයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යංශයේදී සිදු කෙරුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.

ඒ අනුව, ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියන‍ගේ, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ විසින් ගරු ජනාධිපතිතුමා ආරක්‍ෂක අමාත්‍යංශය වෙත පිළිගැනීමෙන් අනතුරුව ගරු ජනාධිපතිතුමා වෙත ත්‍රිවිධ හමුදා සම්මාන මුරයක් මඟින් උත්තමාචාරය පුද කිරීම සිදු කෙරිණි.

ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස වැඩ භාරගැනීමෙන් අනතුරුව ගරු ජනාධිපතිතුමා ආරක්‍ෂක අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී ආරක්‍ෂක අමාත්‍යංශයේ කාර්යය මණ්ඩලය සහ ත්‍රිවිධ හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇමතීම සිදු කෙරුණු අතර, එම අවස්ථාව සඳහා ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මැතිතුමා, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදාධිපතිවරුන් සහභාගී වී සිටියහ.