නාවික හමුදාව විසින් රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව පිළිබඳ පුහුණු අභ්‍යාසයක් කොළඹ වරායේදී සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින්; හදිසි රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව අවස්ථාවකදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ඒකාබද්ධ පුහුණු අභ්‍යාසයක් 2024 නොවැම්බර් මස 19 වන දින කොළඹ වරාය පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, මෙම අභ්‍යාසය මොන්ටානා ජාතික ආරක්‍ෂක බළකාය, එක්සත් ජනපද වෙරළාරක්‍ෂක බළකාය (දිස්ත්‍රික් 13) සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර දැනට ක්‍රියාත්මක Subject Matter Expert Exchange - SMEE වැඩසටහනට සහභාගිවන්නන්ගේ දැනුම වැඩි දියුණු කිරීම අරමුණු කර ගෙන පැවැත්වුණු අතර, ඒ සඳහා මධ්‍යම පරිසර අධිකාරිය, සමුද්‍ර පරිසර ආරක්‍ෂණ අධිකාරිය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ගුවන් තොටුපළ ගුවන් සේවා (ශ්‍රී ලංකා), සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය යන ආයතනයන්ගේ නිලධාරීන් පිරිසක්ද සහභාගි වූහ.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික ඒකකය හා වරාය ගිනි නිවීමේ සේවාව එක්ව පවත්වන ලද මෙහි න්‍යායික පුහුණු සැසිය තුළදී රසායනික උපද්‍රව අනාවරණය, හඳුනා ගැනීම, ආරක්‍ෂක ක්‍රමවේද සහ ගලවා ගැනීමේ ක්‍රමවේද පිළිබඳ දැනුවත් කිරීම සිදු කෙරුණු අතර, එහි ප්‍රායෝගික සැසිය මඟින් හදිසි රසායනික උපද්‍රවයකදී අදාල ආරක්‍ෂිත උපාංග සහ උපකරණ නිසි ලෙස හැසිරවීම, පුද්ගලයින් ආරක්‍ෂිතව ඉවත් කිරීම, අන්තරායදායක රසායනික සංයෝගයන් ආරක්‍ෂිතව බැහැර කිරීමේ ක්‍රමෝපායන් පිළිබඳ දැනුවත් කිරීම සිදු කෙරිණි.

තවද, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රථම ප්‍රතිචාර දක්වන්නා ලෙස (First Respondent) කොළඹ, ගාල්ල, හම්බන්තොට, ත්‍රීකුණාමලය සහ කන්කසන්තුරේ යන ප්‍රධාන වරාය පරිශ්‍රයන් සහ මුහුදු ප්‍රදේශ තුළ සිදුවන රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික හඳිසි අවස්ථාවන් කඩිනමින් නිවැරදිව කළමනාකරණය කිරීම සඳහා වෘත්තීය දායකත්වය ලබාදීමට නිරන්තර අවධානයෙන් සිටියි.