ජාතික ආරක්ෂක විද්‍යායතනයේ තෙවන පූර්ණකාලීන ජාතික ආරක්ෂක පාඨමාලාවේ උපාධි ප්රදානෝත්සවය සඳහා නාවික හමුදාධිපති සහභාගී වෙයි
කොළඹ ජාතික ආරක්ෂක විද්‍යායතනයේ තෙවන පූර්ණකාලීන ජාතික ආරක්ෂක පාඨමාලාව සාර්ථකව අවසන් කළ ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් හතලිස් එක් දෙනෙකු (41) වෙත උපාධි ප්රදානය කිරීම, ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල “FGS” ශ්‍රවණාගාරයේදී, 2024 නොවැම්බර් මස 18 වන දින සිදුකෙරුණු අතර, ඒ සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ ස්ථාපිත ජාතික ආරක්ෂක විද්‍යායතනයේ තෙවන පූර්ණකාලීන ජාතික ආරක්ෂක පාඨමාලාව සාර්ථකව හදාරනු ලැබූ යුද හමුදා නිලධාරීන් දහසය දෙනෙකු (16), නාවික හමුදා නිලධාරීන් අට දෙනෙකු (08), ගුවන් හමුදා නිලධාරීන් හය දෙනෙකු (06) සහ පොලිස් නිලධාරීන් තුන් දෙනෙකු (03), බංගලාදේශ නිලධාරියෙක් (01), ඉන්දියානු නිලධාරියෙක් (01), ඕමානයේ නිලධාරියෙක් (01), සවුදි අරාබි නිලධාරින් පස් දෙනෙකු (05) ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් හතලිස් එක් දෙනෙකු (41) වෙත උපාධි පිරිනැමීම සහ පාඨමාලාවේදී විශිෂ්ඨ දක්ෂතා දැක්වූ නිලධාරීන් හට ඇගයීමේ සම්මාන පිරිනැමීම ආරක්ෂක ලේකම් තුමා වෙතින් සිදු කෙරිණි.
මෙම අවස්ථාව සඳහා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද හා ගුවන් හමුදාධිපතිවරුන්, වැඩබලන පොලිස්පති, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති, රියර් අද්මිරාල් ධම්මික කුමාර, ජාතික ආරක්ෂක විද්‍යායතනයේ ආඥාපති, එම විද්‍යායතනයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය, රාජ්‍ය නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ජ්‍යේෂ්ඨ නිලධාරීන් මෙන්ම පාඨමාලාව හදාරනු ලැබූ නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයින් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.