ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ වැඩ භාර ගනී
බටහිර නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කරණු ලබන, රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ, ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් අද (2024 නොවැම්බර් 15 දින) ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේදී වැඩ භාර ගැනීම සිදුකෙරිණි.
නාවික හමුදා සම්ප්‍රදායානුකූලව ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානය වෙත රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ පිළිගැනීමෙන් අනතුරුව, ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් ලෂාන්ත් එන් හේවාවිතාරණ විසින් ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේදී, ආඥාපති ධූරයෙහි රාජකාරීන් නව ආඥාපති වෙත භාර දීම සිදු කෙරිණි.
තවද, ස්වේච්ඡා නාවික හමුදා මුලස්ථානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් විසින් සුබපැතීමෙන් අනතුරුව, රියර් අද්මිරාල් ලෂාන්ත් එන් හේවාවිතාරණ වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව ස්වේච්ඡා නාවික හමුදා මුලස්ථානය වෙතින් සමුදීම සිදු කෙරිණි.
තවද, රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ, බටහිර නාවික විධානයේ සහ ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති ලෙස ඉදිරියට කටයුතු කරනු ඇත.