නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් ලෂාන්ත් එන් හේවාවිතාරන නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 33 කට අධික සේවා කාලය නිම කරමින් රියර් අද්මිරාල් ලෂාන්ත් එන් හේවාවිතාරන අද (2024 නොවැම්බර් 15) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ප්‍රමුඛ නාවික හමුදා කළමනාකරණ මණ්ඩලය විසින් අද දිනට සිය 55 වන උපන් දිනය යෙදී ඇති රියර් අද්මිරාල් ලෂාන්ත් එන් හේවාවිතාරන වෙත නාවික හමුදා මූලස්ථානයේදී උපන් දින සුබපැතුම් පිරිනැමීමෙන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මඟින් ඔහු වෙත උත්තමාචාරය පුද ‍කිරීම සිදු කෙරිණි. අනතුරුව, සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික හමුදා රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයෙන් පිටව යන මොහොතේ ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් මාර්ගය දෙපස රැඳී සිටිමින් රියර් අද්මිරාල් ලෂාන්ත් එන් හේවාවිතාරන වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සුභාශිංසන පිරිනැමීම සිදුකෙරිණි.

1990 වසරේදී 08 වන කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලීය බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් ලෂාන්ත් එන් හේවාවිතාරන, සිය වසර 33 කට අධික සේවා කාලය තුළ විවිධ ආයතන සහ නෞකාවන්හි අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කර ඇත. තවද, ඔහු ශ්‍රී ලංකා නාවික නෞකා ශිල්ප ආයතනයේ පුහුණු විධායක, නාවික අණභාර නිලධාරී (දූපත්), නියෝජ්‍ය අධ්‍යක්‍ෂ (පුහුණු සහ මූලධර්ම), කපිතාන් මෙහෙයුම් දෙපාර්තමේන්තුව (බටහිර), කපිතාන් මෙහෙයුම් දෙපාර්තමේන්තුව (නැගෙනහිර) සහ වැඩ බලන වරාය පහසුකම් ආරක්‍ෂක නිලධාරී (ත්‍රීකුණාමලය වරාය), ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණ නිලධාරි, නියෝජ්‍ය ආඥාපති උතුරු මැද නාවික පෙදෙස, අධ්‍යක්‍ෂ නාවික සුභසාධක, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, ආඥාපති ස්වේච්ඡා නාවික හමුදාව සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා වැනි ප්‍රමුඛ නිලතල දරා ඇති කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.