ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Vela’ සබ්මැරීනය නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2024 නොවැම්බර් මස 10 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS Vela’ සබ්මැරීනය නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද (2024 නොවැම්බර් 13) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම සබ්මැරීනය වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

මෙම නිල සංචාරයේදී, ‘INS Vela’ සබ්මැරීනයේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් කපිල් කුමාර් (Kapil Kumar) සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ අතර නිල හමුවක් එම විධාන මූලස්ථානයේදී සිදු කෙරිණි.

එමෙන්ම, ‘INS Vela’ සබ්මැරීනයේ මෙහෙයුම් ක්‍රියාකරීත්වය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයන් සහ ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ පුහුණුවන නිලධාරීන් සහභාගී වූ අතර, සබ්මැරීනය දිවයිනේ රැදී සිටි කාලසීමාවේදී එහි නැව් මුළුව, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කළ අත්පන්දු තරඟයක් සඳහා මෙන්ම, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීමේ සංචාර සඳහාද එක් වූහ.

තවද, කලාපීය නාවික හමුදාවන් විසින් සිදුකරනු ලබන මෙවැනි සුහද සංචාර මඟින් වැඩිදියුණු වන සුහදත්වය හා සහයෝගීත්වය, ඉදිරියේදී සාගර කළාපයේ පොදු සමුද්‍රීය අභියෝග සාමූහිකව ජයගැනීම සඳහා මහඟු පිටුවහලක් ගෙනදෙනු ඇත.