74 වන නාවික හමුදා සංවත්සර දිනය වෙනුවෙන් නාවිකයන්ගේ සුහද හමුව උත්කර්ෂවත් අයුරින් පවත්වයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 74 වන සංවත්සර දිනය සැමරීම සඳහා ආගමික සහ නාවික හමුදා සම්ප්‍රදායන්ට මුල්තැනක් දෙමින් වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු සංවිධානය කර ඇති අතර, එම වැඩසටහන් මාලාවේ නාවිකයන්ගේ සුහද හමුව අද දින (2024 නොවැම්බර් 09) වැලිසර නාවික Wave N’ Lake නාවික හමුදා උත්සව ශාලාවේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
නාවික හමුදාවේ අභිමානවත් 74 වන සංවත්සරය මුල්කර ගනිමින් සංවිධානය කල මෙම සුහද හමුව, නාවික හමුදාවෙන් විශ්‍රාම ලබා සිටින ජ්‍යේෂ්ඨ නාවිකයන් සහ සියළුම නාවික විධානයන් නියෝජනය කරමින් පැමිණි සේවයේ නියුතු ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් වෙනුවෙන් සංවිධානය කෙරුණු අතර, විශ්‍රාමික සහ සේවයේ නියුතු ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් හට තම සේවා අත්දැකීම් පිළිබඳ සුහදව අදහස් හුවමාරු කරගැනීමටත්, විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නාවිකයන් හට සුහද හමුව අමතමින් තම නාවික හමුදා ජීවිතයේ සහ විශ්‍රාමික දිවියේ අත්දැකීම් බෙදාහදා ගැනීමටත් එහිදී අවස්ථාව උදාවිය. ඒ අනුව, විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නාවිකයන් වෙනුවෙන් නාවික හමුදා පාලක ප්‍රධාන සුළු නිලධාරී ටීජී නීල්කරූ (විශ්‍රාමික) සහ පාලක ප්‍රධාන සුළු නිලධාරී කාන්තා ටීඑම්එස්යූ බණ්ඩාර (විශ්‍රාමික) අදහස් දැක්වූ අතර, නාවික හමුදා පාලක ප්‍රධාන සුළු නිලධාරි ඩබ්එම්ජීඒ කුමාර විසින් ඔහු ගේ අත්දැකීම් පිළිබඳ නාවිකයන් දැනුවත් කෙරිණි.
නාවික හමුදා සුභසාධන අංශය වෙතින් නායක භෝජනවේදී බීඑච්එච්ජීපී පුෂ්පකුමාර යන කණිෂ්ඨ නාවිකයා වෙත රෝද පුටුවක් ප්රදානය කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමෙන් අනතුරුව, නාවික හමුදාධිපති විසින් නාවිකයන්ගේ සුහද හමුව ඇමතීම සිදුකෙරිණි. එහිදී අදහස් දැක්වූ නාවික හමුදාධිපති, 74 වසරක් පුරා නාවික හමුදාව පැමිණි දීර්ඝ ගමන් මඟෙහි දී විවිධ වකවානුවන්හිදී නාවිකයන්ගේ වෘත්තීය දායකත්වය වර්තමාන නාවික හමුදාව තිබෙන තත්වයට වර්ධනය වීමට හේතු වී ඇති බව පවසන ලදී. දේශයේ සමුද්‍රීය අභිලාශය ශාක්ෂාත් කරගැනීම වෙනුවෙන්, නාවික හමුදාවට අනන්‍ය, හමුදාමය, රාජ්‍ය තාන්ත්‍රික සහ නීතිය බලාත්මක කිරීමේ භූමිකාවන්, සාර්ථකව ඉටුකිරීම වෙනුවෙන් වසර 74 ක් කැපවීමෙන් සිදුකළ අනභිභවනීය දායකත්වය, ඉදිරියටත් අඛණ්ඩව සිදුකිරීම සැමගේ වගකීම බව පවසමින් එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, බාහිර පාර්ශ්වයන්ගේ විවිධ මතවාදයන්ගෙන් නොබෙදී, කණ්ඩායම් හැඟීමෙන් යුතුව, ජාත්‍යන්තර මුහුද දක්වා පුළුල් සමුද්‍රීය වපසරියක නාවික හමුදාවට පැවරී ඇති සමුද්‍රීය ආරක්ෂක වගකීම ඉටුකිරීම සඳහා සියළුම නාවිකයන්ගේ කැපවීම ඉදිරියටත් අඛණ්ඩව අවශ්‍ය බව අවධාරණය කෙරිණි.
එමෙන්ම, නාවික හමුදාවට පැවරී ඇති එම සුවිශේෂී කාර්යය භාරය කාර්යක්ෂමව හා ඵලදායි ලෙස ඉටුකිරීම සඳහා නිලධාරීන්, ජ්‍යේෂ්ඨ නාවිකයන් සහ කණිෂ්ඨ නාවිකයන් අතර ශක්තිමත් බැඳීමක් නිරතුරුව පවත්වාගත යුතු බවත්, එමඟින් ඕනෑම අභියෝගාත්මක කාලවකවානුවක වුවද බාහිර පාර්ශවයන් ගේ බලපෑම් වලට හසුනොවී නාවික හමුදා පුද්ගලයන්ගේ ගැටළු සාමුහිකව විසඳා ගනිමින්, නාවික හමුදාවේ කාර්යය භාරය ඉටුකිරීම වෙනුවෙන් අධිෂ්ඨානශීලිව කැපවිය හැකි බවත් පවසන ලදි.
නාවික හමුදා සංස්කෘතික වාදක හා නර්තන අංශයේ ගායන, වාදන සහ නර්තන අංගයන් ගෙන් විචිත්‍රවත් වූ මෙම සුහද හමුවේදී, නාවික හමුදා දිනය වෙනුවෙන් පිරිනමනු ලබන සාම්ප්‍රදායික බඩාකානා ආහාරය ලබාගැනීම, නාවික හමුදාධිපති, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ සුහද හමුව සඳහා සහභාගී වූ නාවික හමුදා පුද්ගලයන් එක්ව නාවික සම්ප්‍රදායානුකූලව සිදුකෙරිණි.
තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් කාංචන බනගොඩ ඇතුළු නාවික හමුදා කළමනාකරණ මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ ඇතුළු විධාන ආඥාපතිවරුන්, ධජ නිලධාරීන්, ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නාවිකයින්, ජ්‍යේෂ්ඨ, කණිෂ්ඨ නාවිකයින් හා කාන්තා නාවිකයන් පිරිසක් සහභාගී වී සිටියහ.