නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස, රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු 2024 නොවැම්බර් මස 09 වන දින සිට පත් කෙරුණු අතර, ඊට අදාළ පත්වීම් ලිපිය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් නාවික හමුදා මූලස්ථානයේදී, රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වෙත නිල වශයෙන් ප්‍රදානය කර, සිය සුභපැතුම් පිරිනැමීම සිදුකෙරිණි.

වෙන්නප්පුව, ශාන්ත ජෝශප් වාස් විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, 1991 වර්ෂයේදී 21 වන ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශයට එක් වී ඇත. ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයෙන් මූලික පුහුණුව සාර්ථකව සම්පූර්ණ කර, 1993 වර්ෂයේ උප ලුතිනන් වරයෙකු වශයෙන් අධිකාරියට පත් වන ඔහු, උප ලුතිනන් තාක්‍ෂණික පාඨමාලාව 1995 වර්ෂයේදී ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයේදී සාර්ථකව හදාරා, අවි සහ මිසයිල පිළිබඳ දීර්ඝ පාඨමාලාව ඉන්දියාවේ INS Dronacharya පුහුණු පාසල වෙතින් 2003 වර්ෂයේදී හදාරා ඇත. නාවික අවි නඩත්තු ඉංජිනේරු පාඨමාලාව චීනයේදී 2010 වර්ෂයේදී හදාරා, එක්සත් රාජධානියේ ආරක්‍ෂක විද්‍යාපීඨය මඟින් ආරක්‍ෂක අධ්‍යයන (RCDS) පාඨමාලාව සාර්ථකව නිම කර ඇති රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, ආරක්‍ෂක අධ්‍යනය පිළිබඳ විද්‍යාපති උපාධිය ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය වෙතින්ද, ජාත්‍යන්තර ආරක්ෂාව සහ උපාය මාර්ග පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලන්ඩනයේ කිංග්ස් විශ්ව විද්‍යාලය වෙතින්ද ලබා, සිය වෘත්තීය ජීවිතයේ ක්‍රමාණුකූලව උසස් වීම් ලබා, 2023 වර්ෂයේ ජනවාරි මස 06 වන දින රියර් අද්මිරාල් නිලයට උසස් වී ඇත.

සිය සේවා කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විවිධ නිලතල රාශියක් දරා ඇති රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, වේග ප්‍රහාරක මුර යාත්‍රාවන්හි අණභාර නිලධාරී ලෙස සහ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සහ ආයතනයන්හි අණදෙන නිලධාරී වශයෙන් රාජකාරී සිදු කොට ඇත. තවද, නාවික යුදායුධ නිලධාරී, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික අවි, අණදෙන නිලධාරී හතරවන වේග ප්‍රහාරක මුර යාත්‍රා සමූහය, කපිතාන් මෙහෙයුම් දෙපාර්තමේන්තුව (බටහිර), ආඥාපති නාවික හා සාගරික විද්‍යාපීඨය, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල, ආඥාපති උතුරු මැද නාවික පෙදසෙ සහ ආඥාපති නැගෙනහිර නාවික පෙදෙස වැනි ප්‍රමුඛ නිලතල දරා ඇති කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.

තවද, රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු නැගෙනහිර නාවික විධානයේ ආඥාපති ලෙස එම ධූරයෙහි කටයුතු සිදුකරන අතරතුර, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ධූරයෙහි රාජකාරීන් ඉදිරියට සිදුකරනු ඇත.