නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 34 කට අධික සේවා කාලය නිම කරමින් රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ අද දින (2024 නොවැම්බර් 09) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ප්‍රමුඛ නාවික හමුදා කළමනාකරණ මණ්ඩලය විසින් අද දිනට සිය 55 වන උපන් දිනය යෙදී ඇති රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ වෙත නාවික හමුදා මූලස්ථානයේදී උපන් දින සුබපැතුම් පිරිනැමීමෙන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මඟින් ඔහු වෙත උත්තමාචාරය පුද කිරීම සිදු කෙරිණි. අනතුරුව, සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික හමුදා රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයෙන් පිටව යන මොහොතේ ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් මාර්ගය දෙපස රැඳී සිටිමින් රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සුභාශිංසන පිරිනැමීම සිදුකෙරිණි.
1990 වසරේදී කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලීය 08 වන බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ, සිය වසර 34 කට අධික සේවා කාලය තුළ වේග ප්‍රහාරක මුර යාත්‍රාවන්හි අණභාර නිලධාරී ලෙස සහ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සහ ආයතනයන්හි අණදෙන නිලධාරී වශයෙන් රාජකාරී සිදු කොට ඇත. තවද, ඔහු විධාන මෙහෙයුම් නිලධාරී සහ විධාන බුද්ධි නිලධාරී (බටහිර), නාවිකයින් පුහුණු කිරීමේ මධ්‍යස්ථානය සාම්පූර්හි පුහුණු විධායක, සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපදේශක (නාවික), වරාය පහසුකම් ආරක්‍ෂක නිලධාරී (පුත්තලම වරාය) සහ අධීක්‍ෂණ නිලධාරී වෙරළබඩ මුර යාත්‍රා පුහුණු මධ්‍යස්ථානය, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම්, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික විශේෂ බළකා, නාවික අණභාර නිලධාරී (වැලිසර), නියෝජ්‍ය ආඥාපති බටහිර නාවික පෙදෙස සහ වරාය පහසුකම් ආරක්‍ෂක නිලධාරී (කොළඹ වරාය), අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු, ආඥාපති උතුරු නාවික පෙදෙස සහ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී වැනි ප්‍රමුඛ නිලතල දරා ඇති කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.